මනම්පිටිය නිමල් ජයරත්න –
තමන්ට දැඩි ජීවිත තර්ජනයක් තිබියදි, ජීවිත තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් වසර තිහකට අධික කාලයක් තම ජීවිත ආරක්‍ෂාවට සිටි, සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා ඇතුළු සියලු ආරක්‍ෂ නිලධාරීන් අද ( 11 ) සිට ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම කනගාටුවට කරුණක් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නා හිමියෝ අද (11 ) සවස අම්පාර පන්සල්ගල රජමහා විහාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
2023 වසරේ පෙබරවාරි 23 වෙනිදා වෙඩි ප්‍රහාරයට ලක්ව තමන් අනු නවයෙන් බේරුණු බවත්, එම සිද්ධියේ පරීක්ෂණ යට ගසමින් තිබෙන අවස්ථාවක තමන්ගේ ආරක්‍ෂාවට සිටි සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමෙන් අනතුරුව තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත්, ඊට එම නිලධාරීන් ඉවත් කළ සියලූ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් වගකිය යුතු බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.
වසර තිහක කුරිරු යුද්ධයේදී එල් .ටී.ටී. ඊ ත්‍රස්තවාදීන් සමඟ ගැටෙමින් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව සමග සිටි තමන්ගේ ජීවිතය මෙපමණ අනාරක්ෂිත තත්ත්වයකට ඇද නොවැටුන බවද උන් වහන්සේ කීහ.
නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු විසඳාලීමට නායකත්වය ගෙන ක්‍රියා කරන සමයේ සිට තමන්ට විවිධ අන්තවාදී සංවිධානවල නායකයින්ගෙන් සහ දේශපාලන කුමන්ත්‍රණකාරීන්ගෙන් මරණීය තර්ජන එල්ලු වු බවත්, ඔවුනට විරුද්ධව පොලිසියට සහ ආරක්ෂක අංශවලට කොතෙක් පැමිණිලි කළ ද ඊට තමන්ට කිසිදු සාධාරණයක් ඉයු නොවන බවත්, එවැනි වකවානුවක තම ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉවත් කිරීම කනගාටුදායක කරුණක් බවත් හාමුදුරුවෝ පැවසූහ.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගෙත්, ආරක්ෂක අමාත්‍යවරයාගේත් අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තුවන බව ද අම්පිටියේ සුමනරතන නාහිමි වැඩිදුරටත් සඳහන් කළහ.