මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මින්නේරිය, රොටවැව ව්‍යාපාරයේ අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර වී අස්වනු නිසි මිළකට අලෙවි කිරීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මින්නේරිය රොටවැව ව්‍යාපාරයේ ගොවීහු පවසති.
මෙලෙස සුපුරුදු පරිදි සෑම වගා කන්නයකම සිය අස්වනු නෙලීමත් සමග පෞද්ගලික වෙළඳුන් හා මහා පරිමාණ වී මෝල් හිමියන් කටයුතු කිරීම මත සෑම වගා කන්නයකම තම වී අස්වනු කුණු කොල්ලයට අලෙවි කිරීම සිදුවීමෙන් තමන් බලවත් අසීරුතාවට පත්ව සිටින බව එම ප්‍රදේශයේ වී ගොවීන් පෙන්වා දෙති.
මෙවර රොටවැව ව්‍යාපාරයේ ගොවීන් 250 කට වැඩි පිරිසක් මහ කන්නය යටතේ අක්කර 350කට ආසන්න වගා බිම් ප්‍රමාණයක වී වගා කර ඇති අතර ඔවුන් වගාකල වී වගාවන්ගෙන් අඩක පමණ වී අස්වනු නෙලා හමාරය.
වෙළෙඳුන් විසින් හිතා මතාම තම අස්වනු කුණු කොල්ලයට මිළදී ගන්නා බවත්, එලෙස තම වී අස්වනු ඉතා අඩු මිළට ගැනීමට හේතුවී ඇත්තේ රජය විසින් මෙතෙක් වී ගොවීන්ගේ වී අස්වනු මිළදී ගැනීම සදහා කිසිදු වැඩපිළිවෙළක් දියත් නොකිරීම බවට එම ප්‍රදේශයේ ගොවීහු චෝදනා කර සිටිති
.මෙම තත්වය මත මේ වනවිට වී කිලෝවක් රුපියල් 85-90ක් වැනි ඉතා සුළු මුදලකට පෞද්ගලික වෙළදුන් විසින් මිළදී ගන්නා බවත් එම මිළට වී අලෙවි කිරීමෙන් තම වී වගාවන් සදහ වියදම්වූ නිෂ්පාදන වියදමවත් පියවා ගත නොහැකි තත්වයක් උදා වී ඇති බවත් එම ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය සතු වී ගබඩා කඩිනමින් විවෘත කොට තම වී කිලෝවක් රුපියල් 120ක මුදලකට මිළදී ගැනීම සදහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට එම ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.