දිනසේන රතුගමගේ
පැහැදිලිව හඳුනා ගත නොහැකි වූ උණ රෝගයක් හේතුවෙන් මියගිය යාපනයේ පාසල් ගුරුවරියකගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (1) දා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
යාපනයේ උරුමොපිරායි ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන සුගන්ධන් ජාන්සි නැමති මෙම පාසල් ගුරුවරිය දින තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගයෙන් පෙළුණු නිසා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත් ඇය උණ රෝගය සුව නොවූ නිසා ප්‍රතිකාර ලබා ගැනීම සදහා යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ගොස් තිබේ.
රුධිර පරීක්ෂණයකින් පසුව ඇයව රෝහලට ඇතුළත් කරගෙන ඇති අතර එහි දිනක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇගේ තත්ත්වය බරපතල වූ බැවින් ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.
ගුරුවරිය මියගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය.
ඇයගේ මරණයට හේතු වූ උණ රෝගය කුමක්දැයි පැහැදිලිව හදුනා ගැනීමට නොහැකි වූ නිසා ඇයගේ ශරීර අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹට යවා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
යාපනයේ චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන අයයි.







