ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින්, ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැ යි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට අද (12) නියම කළේය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබිණි.
අදාල පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගෙන ඇත. වැඩිදුර පෙත්සම් විභාගය හෙට (13) දින තෙක් කල් දමා තිබේ.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරන්නේ පසුගිය වසරේ (2023) ඔක්තොම්බර් මස 31 දා ය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වූයේය.
එහි තීන්දුව එදින ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති යන තීන්දු කළේ අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවයි.
ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දුවේ පදනම වූයේ පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට තරම් ඔහු විසින් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහුගේ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවයි.
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සුළුතර තීන්දුව ලබා දුන් සාමාජික විනිසුරු ඒ. මරික්කාර් ප්‍රකාශ කළේ වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටින බවය.
එමෙන්ම වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවත් ය.
ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීන්දු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මරික්කාර් විනිසුරුවරයා නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් ය.
අනතුරුව ඕෂල හේරත් අභියාචනාධිකරණ තීන්දුව අභායෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය.







