සැතපෙන බුදු පිළිමවල පපුව පළා නිධාන ඇති දැයි සොයපු, දුටු ගැමුණුර රජුගේ කඩුව සොයාගන්නට විහාර දේවාල විනාශ කරපු, පුංචි සන්දියේ දී විනෝදයට දළ ඇතුන් මරා ඇත් දළ එකතු කරපු අපරාධකරුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සංස්කෘතික උරුමය විනාශ කරනු ඇති බවත්, නුවර දළදා පෙරහර නවත්වනු ඇති බවත් කියැවෙන අමූලික බොරු පතුරුවමින් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (17) තංගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ මංගල රැළිය අමතමින් ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ මේ රටේ සංස්කෘතික උරුමයට ගරු කරන, ශිෂ්ඨාචාරයට ගරු කරන, පුරාවස්තු සංරක්ෂණය කර අනාගත පරම්පරාවට දායාද කරන, එකම ආණ්ඩුවක් ඇත්නම් ඒ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවය.
” දැන් අපි දන්නාව සතුරා විශාල ලෙස කලබලටය පත් වි සිටිනවා. අවලාද, අසත්‍ය තොරතුරු බොරු ප්‍රචාර හැම තැනම පිඹ පිඹ යනවා. අද අපි අපේ අමරපුර මහා නිකායේ නායක හාමුදුරුවන් වහන්සේලා හම්බවුනා. උන්වහන්සේලා පෙන්වා දෙනු ලැබුවා අපේ රටේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව බෞද්ධ ආගම පිළිබඳව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොසැලකිල්ලට ලක්කරනවා යැයි කියලා අනික් අය කියනවා කියලා.
මම දැක්කා සමහර අය කියනවා අපි ආවම නුවර පෙරහර නතර කරනවා කියලා.
මතක තියාගන්න මේ රටේ සංස්කෘතිය ශිෂ්ඨාචාරය ආරක්ෂා කරලා අනාගතයට භාර දෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මේ කියන්නේ කවුද. මේවා කියන්නේ නිධන් කඩපු අය. පුරාවස්තු කඩපු අය. ඒ අය තමයි දැන් සංස්කෘතික විනාශයක් ගැන කියන්නේ. මේ කියන්නේ සංස්කෘතික අරමුදල විනාශ කරපු අය.
මතක තියාගන්න. මේ රටේ පැරණි ශිෂ්ඨාචාරය සංරක්ෂණය කරලා එම ශිෂ්ඨාචාරයෙන් ලබාගෙන තියන ජයග්‍රහණ සුරක්ෂිත කරලා අනාගත පරම්පාරවට භාර දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. මේ රටේ සියලු සංස්කෘතීන්, සියලු ආගම් අදහන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරලා ආගම් අදහන පුරවැසියන්ට නිදහසේ අදහන්න, ඒ ආගම් පිළිබඳව නිදහසේ වැඩ කරන්නත් අවශ්‍යවන පරිසරය නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
හැබැයි මේ චෝදනා එල්ල කරන අය කවුද. මේ චෝදනා එල්ල කරන අය අපේ රටේ සැතපෙන බුදු පිළිමේ පපුව පළලා නිදන් හොයපු අය. අපි දන්නවා ඒ කවුද කියලා. දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව හොයන්න තැන තැන පන්සල් දේවාල කඩපු අය. පොඩි කාලේ ආසාවට ඇතුන් මරපු දළ එකතු කරපු අය. ඒ නිසා මේ රටේ ශිෂ්ඨාචාරයටත් මේ රටේ සංස්කෘතියටත් කරන්න පුලුවන් සියලුම විනාශයන් කරපු කණ්ඩායම් දෙකක් අපි ඉස්සරහා ඉන්නවා.
අද පැහැදිලි එක ව්‍යාපාරයයි තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගයේ ව්‍යාපාරය.





