ඉඳුනිල් කහටපිටිය –
අපට මගහැරුණ තැන් බොහෝමයක් අති බව ලෝකය අපට මතක් කරදෙන්නේය. එවැනි එක් තීන්දුවක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ ( 05) නිවේදනය කළේය. ඔවුහු තම ක්‍රිකට් අනාගය බාරදීම සඳහා සිදුකළ සූක්ෂම සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව පුද්ගලයෙක් තෝරාගෙන සිටිති.
ඔහු ශ්‍රි ලංකාවේ පළමු පෙළ ක්‍රීඩකයෙක් මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තෙවන මට්ටමේ සුදුකම් පූර්ණ පුහුණුකරුවෙක් වූ රමේෂ් සුබසිංහය.

පුළුල් හා සූක්ෂම තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසුව රමේෂ් සුබසිංහ බටහිර ඉන්දී කොදෙව් ඇකඩමිය කාර්ය සාධනයේ සහ වර්ධනයේ නව යුගයකට ගෙනයාමට සුදුසුම අපේක්ෂකයා රමේෂ් සුබසිංහ තොරා ගත් බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම තෝරාගැනීමට පෙර රමේෂ් සුබසිංහ නවසීලන්ත ක්‍රිකට් පිරිමි සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් සහ Otago Cricket Associations Pathways හි ප්‍රධාන පුහුණුකරු සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙසත් සේවය කර තිබිණි. ඔහු ICC ගෝලීය මට්ටමේ 3 අදියරේ පුහුණු කරුවෙක් වන අතර නවසීලන්ත ක්‍රිකට්හි සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ රමේෂ්ගේ සුදුසුකම් වලට අමතරව, ඔහු ඉහළ කාර්ය සාධන පද්ධති සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, තාක්ෂණික ප්‍රතිකර්ම සහ ක්‍රීඩා ජෛව යාන්ත්‍ර විද්‍යාව, කණ්ඩායම් සහ පුද්ගල පරිපූර්ණ කුසලතා සංවර්ධනය, අබාධ වැළැක්වීම සහ පන්දු යැවීමේ බර කළමනාකරණය ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවක සැලකිය යුතු ප්‍රවීණතාවයක් ප්‍රදර්ශනය කර ඇති බවය.
බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ දි ගෝලීය මට්ටම් අයදුම්කරුවන් 53 දෙනෙක් තනතුර සඳහා තරග කළ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ
දැඩි පරීක්‍ෂණ ක්‍රියාවලියක් හරහා, අපේක්ෂකයින් 12 දෙනෙකු කෙටි ලැයිස්තුගත කළ බවත් අවසාන වශයෙන්, ගයනා, ජැමෙයිකාව, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි අපේක්ෂකයින් 6 දෙනෙකු අවසායේ තෝරා ගත් බවත් රමේෂ් සුබසිංහ තෝරා ගත්තේ ඒ හයදෙනාගෙන් සුදුසුම පුද්ගලයා ලෙස බවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දන්වා සිටී.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ ක්‍රිකට් සංවර්ධන සහ කාර්ය සාධන කමිටුවේ සභාපති ඉනොක් ලුවිස්, ක්‍රිකට් අධ්‍යක්ෂ මයිල්ස් බැස්කොම්බේ, ග්‍රේම් වෙස්ට්, ඉහළ කාර්ය සාධන කළමනාකරු සහ මානව සම්පත් කළමණාකරු ඔනෙකා මාටින්-බර්ඩ් යන අය රමේෂ්ව තෝරාගැනිමට තීන්දු කර තිබුණහ. එම පිරිස ප්‍රකාශ කළේ බටහිර ඉන්දීය කොදෙව් කලාපයේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා පලපුරුද්ද සහ අත්දැකීම් සම්බන්ධ පුළුල් තක්සේරුවකින් අනතුරුව සුදුසුම පුද්ගලයා තෝරා ගත් බවය.
රමේෂ් සුබසිංහ අදාල තනතුරට තෝරා ගැනිමේ දී සිදුවුන ක්‍රියාවලිය ආවර්ජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ මයිල්ස් බැස්කොම්බේ මෙසේ ප්‍රකාශ කර තිබිණි.
“ එය දැඩි හා විනිවිද භාවයෙන් යුත් ව්‍යායාමයක් වූ අතර, මෙම තනතුර සඳහා වඩාත් සුදුසුකම් ලත් සහ දක්ෂ අපේක්ෂකයින් පමණක් සලකා බලන බවට අප සහතික වුනා.අප හොඳම දක්ෂතා සහිත සුදුස්සා තෝරා ගැනීමට අපට පැහැදිලි බලයක් දී තිබුණා. අප වඩාත්ම සුදුසු අපේක්ෂකයා හඳුනාගෙන ඇති බව දැඩි ලෙස විශ්වාස කරනවා.
.සුවිශේෂී සුදුසුකම් සහ බටහිර ඉන්දිය කොදෙව් පිරිමි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව සඳහා රමේෂ්ගේ යෝග්‍යතාවය අවධාරණය කරනවා. අපගේ ක්‍රිකට් සංවර්ධන මුලපිරීම් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විශේෂඥභාවය සහ නායකත්වය රමේෂ් සුබසිංහ මූර්තිමත් කරන බව මට විශ්වාසයි” ඔහු කීවේය.
නව පිරිමි ඇකඩමි ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම පිළිබඳව රමේෂ් සුබසිංහ කීවේ මෙය ඔහුට අදහා ගත නොහැකි අවස්ථාවක් බවය.
“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් හා සම්බන්ධ වීමට, සංවිධානයේ නව උපායමාර්ගික දැක්මට දායක වීමට සහ ඔවුන්ගේ දැනට පවතින ඉහළ කාර්ය සාධන වැඩසටහන් ගොඩනඟා ගැනීමට, ඔවුන්ගේ හොඳම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ වැඩ කිරීමට ලැබීම මට ලබාදීලා ඇදහිය නොහැකි අවස්ථාවක්. මා උද්යෝගිමත් ස්වභාවික දක්ෂතා සහිත බටහිර ඉන්දීය කොදෙව්හි උද්යෝගිමත් ක්‍රිකට් ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” ඔහු කීවේය.
රමේෂ් සුබසිංහ 2024 මැයි 1 වන දින සිය භූමිකාව ආරම්භ කිරිමට නියමිතය.







