අනුර කුමාර දිසානායක තමන්ට විවාදයකට අඬ ගැසූ අවස්ථාවේ තමන් ඊට එකඟතාවය පල කළත් මේ වනතුරුත් ආරාධනාවක් නැතැයි ද ඉන් පෙනී යන්නේ තමන් පවසන දේ ප්‍රශ්න කෙරෙන විට ඊට තමන්ටම උත්තර නැති බව යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද යාපනයේ පැවති ජන රැළියක් අමතමිනි. එහිදී පළාත් සභාවල ඉඩම් බලතල ඇතුළු බලතල ලබා දීම, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය වසර තුනක් තුළ විසඳීම, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම පිළිබඳ සහතිකයක් ද දුන්නේය.
කතාව අතර ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
“හිටපු ඇමති අනුර කුමාර දිසානායක විවාදයක් කරමු කිව්වා. මම එකඟවුනා . නමුත් ආරාධනාවක් නෑ. ඒ කියන්නේ මේවට පිළිතුරු දෙන්නබෑ.”
“සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිතුමා ගැන විපක්ෂ නායක තුමා ගැන මම කියන්න යන්නේ නෑ. මම එයා හොඳට දන්න නිසා. වේදිකාවට නැග්ගම මොකක් හරි නොමිලේ දෙනවා. ඉතුරු වෙලා තියෙන්නේ හිස රදයත් නොමිලේ දෙනවා කියන එක විතරයි.
ඒ දෙන්නම නියමිත විසඳුම් දෙන්නේ නෑ. ඒ නිසයි මම විසඳුම් දෙන්න ඇවිත් තියෙන්නේ. මතක තියාගන්න. ගෑස් සිලින්ඩරේ ඉදිරියෙන් කතිරෙ ගහන්න. එහෙම නොවුනොත් ගෑසුත් නෑ. යාපනෙත් නෑ.”
ජනාධිපතිවරයා එහිදී පැවසුවේ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස පවසන ආකාරයට බදු අඩු කළහොත් 2022 පෝලිම් යුගයකට යළි රට තල්ලුවන බවය.







