අන්තර්වාර පාලනයක් සඳහා තමන් කිසිසේත්ම එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (26) මහනුවර දී ප්‍රකාශ කළේය. සමගි ජනබලවේගයේ විරෝධතා පා ගමන ඇරඹීමට පෙර මහා නායක හිමිවරුන් හමුවී මාධ්‍යය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එවැනි ආණ්ඩුවලට සහභාගී වනවාට වඩා දේශපාලන්යෙන් සමු ගැනීම යහපත් බව ඔහු කීවේය. එම වචනය කිසිම ආකාරයකින් වෙනස් නොකරන බවත් ජනවරමක් නැති ආණ්ඩුකරණයක් සඳහා තමන් කිසිසේත්ම දායක වන්නේ නැති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස විශ්වාසභංග හෝ දෝෂාභියෝගත් ආණ්ඩුකරණයත් එකක් නොවන බව කීවේය. අන්තර්වාර පාලනයක් කිසිසේත්ම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව ඔහු පැවසුවේය.
විපක්ෂ නායකවරයා කීවේ මෙසේය.
“ජන වරම තියෙන්නෙ අපට විපක්ෂයේ කාර්යභාර්යය කරන්න. කිසිම වෙලාවක කිසිම දවසක ජනවරමක් නැතිව සමගි ජනබලවේගයත්, සමගි ජන සන්ධානයත් ආණ්ඩුකරණයට රටක් පාලනය කරන තැනකට එන්නෙ නෑ. එහෙම කරන්න බෑ. මේක දේශපාලන සූදුවක් නොවෙයි. මේක දේශපාලන සංගීත පුටු තරගයක් නොවෙයි. ඔයා මගෙ ඇඳුම අඳින්න. මම ඔයාගෙ ඇඳුම අඳින්නම්. ඔයා මගෙ තනතුර ගන්න. මම ඔයාගෙ තනතුර ගන්නම්. අහවලා ජනාධිපති වෙන්න මෙයා ඇමති වෙන්න… අහවලා අගමැති වෙන්න … මොකක් ද මේ වෙන්නේ.“
“ මේක 225 ඇතුළෙ සිදුවන ගනුදෙණුවක්. සම්පූර්ණයෙන් ලක්ෂ 220ක ජනතාව අමතක කරලා කරන කූඨ ක්‍රියාවක්.“
“විශ්වාසභංග දෝෂාභියෝග කියන්නෙ එකක්. ආණ්ඩු බිහි කරනවා කියන්නෙ තව එකක්. අද ගාලු මුවදොර පිටියෙ සහ රටේ හැම තැනම කියන්නෙ මොකක් ද?. වර්තමාන ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි. අගමැතිවරයා ඉවත් විය යුතුයි. ආණ්ඩුව ඉවත් වෙන්න ඕන. හොරු අල්ලන්න ඕන. හොරා කාපු සල්ලි අරගෙන එන්න ඕන.“
“මොහොතකට හිතන්න. මේ ඇත්තො එක්ක ගිහිල්ලා ආණ්ඩු කරන්න පුලුවන් ද?.
“නමුත් වගකීම් දරන්න සූදානම්. වගකීම් භාරගන්න සූදානම්. ඒ මන්ත්‍රී මණ්ඩල අතර කරන ඩීල්වලින් නෙමෙයි. සූදු වලින් නෙමෙයි. මහජන වරමින්. මහජනතාව තීරණය කරනකොට අපි සුදානම් වගකීම් භාර අරගෙන කටයුතු කරන්න.“
අන්තර්කාලීන ආණ්ඩුව ගැන අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.
“අන්තර්කාලීන ආණ්ඩුවකින් පුලුවන් ද රටේ හොරා කාපු සල්ලි ගේන්න. අන්තර් කාලීන ආණ්ඩුවකින් වෙන්නෙ හොරු නොවන අයත් හොරු වෙන එක. මට අන්තර්කාලීන ආණ්ඩුවලට ගිහින් ඊලඟ රංගනයට යන්න කියල ද?.“
“ඊට වඩා මට සැපයි දේශපාලනයෙන් විශ්‍රාම යන එක. මම මේ වචනය මොනම හේතුවකටවත් වෙනස් කරන්නෙ නෑ.“







