ඇප මත නිදහස්ව සිටිය දි රටින් පලා ගොස් ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් මෙන්ම පාතාල අපරාධකරුවෙක් වූ නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ඉම්රාන්ගේ මව, සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු ඔහුගේ ඇපකරුවන් ලෙස ලැයිස්තුගත කර ඇත.
අධිකරණ නියෝගයට අනුව කංජිපානි ඉම්රාන් සෑම මසකම අවසන් ඉරිදා දින මාලිගාවත්ත පොලිසියට වාර්තා කළ යුතු විය. එහෙත් ඔහු පොලිසියේ පෙනී නොසිටීම නිසා පොලිසිය අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කර තිබිණි.
පොලිසිය පැවසුවේ කංජිපානි ඉම්රාන්ගේ මව, සහෝදරයා සහ ඇපකරුවන් ලෙස නම් කර ඇති තවත් පුද්ගලයෙකුට 2023 මාර්තු මාසයේ මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ බවයි.
කංජිපානි ඉම්රාන්ට මිනීමැරුම් ඇතුළු බරපතල චෝදනා රැසක් එල්ල වී තිබිණි.
රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් පසු කුප්‍රකට අපරාධකාර මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට ගෙන්වූ ඔහු වසර දෙකක් රක්ෂිත බන්ධනාගාරයේ බරපතල අපරාධකරුවන් රඳවා ඇති අධි ආරක්ෂිත කලාපයේ රඳවා තැබීමෙන් අනතුරුව පසුගිය 20 දා රුපියල් ලක්ෂ 10ක ඇප මුදලක්, මිලියන 05ක ශරීර ඇපයක්, සහ විදේශ ගමන් තහනමක් සිහිතව මුදා හැරියේය.
ඉන් දින 05කට පසු එනම් පසුගිය නත්තල දා ඔහු රාමේෂ්වරම හරහා ඉන්දියාවට පැන ගොස් එතැනින් පකිස්ථානයය වෙත යෑමේ සූදානමක් ඇති බවත්, සමහරවිට ඔහු පකිස්ථානයට ගොස් තිබෙන්නට පුලුවන් බවත් බුද්ධි අංශ කීවේය.
ඇප මත නිදහස් වූ ඔහු ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ප්‍රශ්න සහගත බවත් රජයේ බුද්ධි අංශ දුර්වල දැයි සැකයක් ඇති වන බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ කිවේය.







