නෙළුම් කුලුන අද සිට ජනතාවට විවෘත වුනේය.
මාධ්‍ය කීවේ නෙළුම් කුලුන පිපුණ බවය. පිපුන නෙලුම් කුලුන ගැන නම් අපට කියන්නට බොහෝ කතා තිබේ. එහෙත් මේ සටහන අද විවෘතවන නෙලුම් කුලුණේ දකින්නට යන අදහසක් ඔබට තිබේ නම් ඒ සම්බන්ධව මූලික කරුණු ටිකක් පිළිබඳව දැනුම්වත් කරන්නටය.
නෙළුම් කුලුණට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතුය. එම ප්‍රවේශ පත්‍ර රුපියල් 500 සහ 2000 ලෙස මිල නියම කර ඇත.
රුපියල් 500 එක් ප්‍රවේශ පත්‍රයකින් කුලුනට ඇතුළුවිය හැක්කේ ඒක වරක් පමණි. රුපියල් 500 මිල නියම කළ ප්‍රවේශපත්‍රයකින් ඇතුළුවන පුද්ගලයින් කුලුන මතට පිටත් කරන්නේ කණ්ඩායම් වශයෙනි. ඒ සඳහා තරමක පෝලිමක රැඳී සිටීමටත් සමහර විට සිදුවනු ඇත.
අරුපියල් 2000 ප්‍රවේශපත්‍ර සහිත අයෙකුට පෝලිමක් රහිතව කුලුන වෙත ගමන් කළ හැකිය. අවස්ථා කීපයක දි වුවද ඒ අත්දැකීම ලබාගත හැකිය. විදේශිකයෙක් සඳහා ප්රවේශපත්රයට ඩොලර් 20කි.
ගොඩනැගිල්ල මත විවිධ බැංකු, අවන්හල් ඇතුළු, උත්සව ශාලා සහිත සේවා සැපයුම් පරිශ්‍රයක් ආරම්භ කිරීමට නියමිතය. මෙම පරිශ්‍රයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව එම සේවා සැපයුම් ස්ථානවලදි ප්‍රතිපූර්ණය කරනු ලබයි.
ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශපත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

නෙළුම් කුලුනේ අත්දැකීම
නෙළුම් කුලුන ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වා ඇත. කුලුනු පාදම, කුලුනු බඳ, කුලුනු ගෘහය සහ ග්රාහක ඇන්ටනා සහිත කුලුනු කණුව ලෙසය.
නෙළුම් කුලුනේ පොහොට්ටුව සේ පෙනෙන කුලුනු ගෘහය පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර 244ක් ඉහලිනි. ඇන්ටනා සහිත කුලුනු කණුව මීටර 103ක් උසය. සම්පූර්ණ කුලුනේ උස මීටර 351 වන්නේ එසේය.
කලුණු පාදම තට්ටු තුනකින් යුතුය. ප්‍රධාන මුළුතැන්ගෙය සහ සේවා අංශය පිහිටා ඇත්තේ එහිය. තට්ටු තුනට ඉහලින් ඇති නිදහස් අවකාශයකි.
පාදම මැදිකොට කුලුනේ නෙලුම් දණ්ඩක් රූපණය කරන කොල පැහැති බඳ විහිදෙයි. කුලුණු බඳ විසින් දරා සිටින නෙළුම් පොහොට්ටුව හැඩැති කුලුනු ගෘහයේ තට්ටු හතකි.
පළමු සහ දෙවන මහල් ජාතික විදුලි සංදේශ නියාමන කොමිසමේ මෙහෙයුම් පෙදෙසය. පළමු මහල නවෝත්පාදන මධ්‍යස්ථානයක්, නව තාක්ෂණික අත්දැකීමක් ගොනු කරන 9D සිනමා ශාලාවක්, ඩිජිටල් කලා කෞතුකාගාරයක්, ඩිජිටල් බැංකු සේවා පද්ධතියක්, අවන්හලක් සහිතව ගොඩගන්නට සැලසුම් කර තිබේ. එහි වර්ග ප්‍රමාණය වර්ග මීටර 1760කි.
දෙවන මහල ප්‍රදර්ශන ශාලාවක්, උත්සව ශාලා දෙකක්, උත්සව සඳහා පෙර සූදානම් ප්‍රදේශයක්, කාර්යාල පරිශ්‍රයක්, කුඩා රැස්වීම් කාමර දෙකක්, සහ සම්න්ත්‍රණ ශාලාවක් වේ. සමස්ථ වර්ගඵලය වර්ග මීටර 2485කි.

තෙවන මහල විවේකාගාරයක් සහිත ගෘහස්ථ නිරීක්ෂණ මණ්ඩපයකි.
හතරවන තට්ටුවේ අවන්හලක් සහ උත්සව ශාලාවකි . නෙළුම් පොහොට්ටුවක ආකෘතිය සහිත උත්සව ශාලාවේ දැල්වෙන විදුලි ධාරා සැදි විදුලි බුබුලුත් නෙළුම් පෙතිවල හැඩය ගෙන තිබේ.
මෙම උත්සව ශාලා වෙත වෙනම ප්‍රවේශ තිබේ. එහි පැවැත්වෙන උත්සව සඳහා සහභාගීවන්නනට ප්‍රවේශපත්‍ර ඇවැසි නැත. බැංකු, උත්සව ශාලා, අවන්හල්, කාර්යාල පරිශ්‍ර සහිත අවකාශ බදු දීමෙන් ප්‍රධානකොට ආදායමක් උපයා ගැනීම නෙළුම් කුලුන පරිපාලනය කරන . “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” අපේක්ෂා කරයි.
කුලුනේ ප්‍රධානම ආදායම් උත්පාදන මාර්ගයක් සේ සැලසුම් වී ඇත්තේ සන්නිවේදන සේවා සඳහා තාක්ෂණික ඉඩකඩ ලබා දීමය. ඒ වෙනුවෙන් ග්රාහක ඇන්ටනා ස්ථාපිත කිරීමය.
එමෙන්ම නෙළුම් කුළුනේ කොලපැහැති බඳ නියමිත ආකෘතියකට අනුව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සඳහා ලබා දීමට ද යෝජනා වී ඇත.
පස්වන තට්ටුව . නෙළුම් කුලුනට අනන්‍ය වූ කැරකෙන අවන්හලය. එය තවමත් විවෘත වී නැත. පැය එක හමාරක් කාලයක් තුළ අවන්හල අංශක තුන්සිය හැටක සමස්ථ දර්ශන පථමය ආවරණය කිමින් කැරකෙයි. අවන්හලේ පැය තුනක් ගත කළ හැකිය.
හයවන තට්ටුවේ සම්පූර්ණ සුඛොපභෝගී නිවාසය. එහි අධි සුඛෝපභෝගී නිවාස 06ක් ඉදි වී තිබේ.
හත්වන තට්ටුව “කොළඹ අහස යට“ විවෘත නිරීක්ෂණ විවෘත නිරීක්ෂණ මණ්ඩපය ය. නෙළුම් කුලුණට ගොඩවෙන අයෙකුගේ අභිලාෂය මේ මණ්ඩපයේ සිට අංශක තුන්සිය හැටපහක වපසරියක විදිහී ගිය දර්ශනය දැකීමය. එක් අන්තයකින් කොළඹ පාමුල සිට අනන්තය තෙක් විහිදෙන මහා සමුද්‍රය ය. අනෙක් අන්තයෙන් රට මැද මධ්‍යම කඳුකරයේ කඳු ශිඛර රේඛාවන්ගෙන් සලකුණුවන භූ දර්ශනය ය. පැහැදිලි අහස සහිත දිනයක සීගිරිය මෙන්ම සිරීපාදය ද කොළඹ සිට දැක ගත හැකි අවස්ථාවක් නෙළුම් කුලුන මතට ගොඩවන නිරීක්ෂකයන් ලැබේ.
කුලුනට ප්‍රවේශ පහසුකම් සපයමින් විදුලි සෝපාන 08ක් ක්‍රියාත්මකය. ඉන් 03ක් ඉහළ තාක්ෂණයකින් යුතු අධිවේගී විදුලි සෝපානයන්ය. විදුලි විසන්ධි වීමක දී ස්වයංක්‍රීයව අධිබල විදුලි ජනකය යන්ත්‍රයක් හා එම සෝපාන සම්බන්ධ වේ.
විනෝදාස්වාද
මේ සමගම විනෝදාස්වාද ඉසව් වෙනුවෙන් ඉඩ හසර ලබා දීමත් ඒ මගින් ආදායම් ඉපදීමත් මේ වනවිට සිදුවෙමින් ඇත. ඔවුන් අපට කීවේ දැනටමත් එවැනි ඉසව් ගණනාවක් සඳහා ඇනවුම් ලැබී ඇති බවය. “බංජි ජම්පින්“ සහ “ස්කයි ඩයිවින්“ යන ඉසව් දැනමටත් නෙලුම් කුලුනේ ක්‍රියාත්මකය.
බන්ගි ජම්පින් යනු ලෝ ප්‍රකට ත්‍රාසජනක ක්‍රීඩාවකි. ස්කයි ඩයිවින් ද එසේය. “ස්කයි ඩයිවින්“ ක්‍රීඩාවේ දී ඉහළ අහසේ සිට පහළට පැන පැරෂුටයකින් මන්දගාමීව පොළොවට ලඟාවීම සිදුකරයි.
බංන්ජි ජම්පින් ක්‍රීඩාවේ දී සිදුවන්නේ පත්යස්ථ ලනුවක එල්ලී උස් ස්ථානයකින් පහළට පැනීමය. උස් ගොඩනැගිලිවලින්, කඳු මිටියාවත් අතර ඇති දල බැවුම්වලින්, වායු බැලුනවල හිඳිමින් මෙසේ පහළට පැනීම සිදුකරනු ලබයි.
ත්‍රාසය ඇතිවන්නෙ අවකාශයේ නිදහසේ වැටීමෙන් සහ ලනුව ආධාරයෙන් නැවත නැගීමෙනි. ඇදනෙ සුලු ලනුවට දුන් ශක්තිය නිමාවන තුරු පුද්ගලයා ඉහළ පහළ දෝලනය වෙයි.
දැනට තුර්කි සමාගමක් මගින් මෙම ඉසව්ව පැවැත්වීම සිදුකරනු ලැබේ. ඉසව්වට සහභාගී වීම සඳහා අය කිරීම ඩොලර් 600කි. ඉන් සියයට 15ක් රජයටය. දැනට “බංජි ජම්පින්“ සිදුකරන ලෝකයේ උසම ගොඩනැගිල්ල නෙළුම් කුලුන බව “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” කියයි.
මේ නෙලුම් කුලුන අත්දැකීම ලැබීමට තරම් අප මානසිකව සුවපත් දැයි වැටහෙන්නේ නැත. එවැනි කාලයක් උදාවූ පසු එක්ව නෙළුම් කුලුණ නගිමු.







