අමායා උඩුවැරැල්ල –
ලෝක් සභාවට සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා වන ඉන්දියානු මහ මැතිවරණයේ පළමු අදියර අද දින එනම් අප්‍රේල් 19 වන දින ආරම්භ වූ අතර එය ජූනි 1 වන දා දක්වා අදියර හතකින් පැවැත්වීමට නියමිතයි.
පළමු අදියරේ ඡන්ද විමසීමේ දී ප්‍රාන්ත 21 ක සහ මැතිවරණ කොට්ඨාශ 102 ක ජනතාව, රට පුරා සිටින මීළඟ මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ඇති. ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 7 ට ආරම්භ වූ අතර සවස 6 ට අවසන් වූ බව සඳහන් වනවා.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම මැතිවරණය, 2019 වසරේ පැවති ඉන්දීය මහ මැතිවරණය අභිබවා ගොස් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම මැතිවරණය යි. එය දින 44 ක් පුරාවට පවැත්වීමට නියමිත අතර දෙවැනි ධුර කාලය සම්පූර්ණ කළ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙවර තම තුන්වැනි ධුර කාලය සඳහා ද භාරතීය ජනතා පක්ෂයෙන් තරග කරන බව සඳහන් වනවා.
ඉන්දියාවේ මිලියන 1440 ක ජනගහනයෙන් ආසන්න ලෙස මිලියන 970 ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වනවා. මහ මැතිවරණයට සමගාමීව, ව්‍යවස්ථාදායක සභා 12 ක ආසන 25 ක් සඳහා වන අතුරු මැතිවරණය ද පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ඉන්දියාවේ දේශපාලන පක්ෂ 2,500 කට වැඩි ප්‍රමාණයක් ඇති නමුත් ලෝක් සභාවේ සියයට 86 ක ප්රතිශතයක ආසන බලයක් දැරුවේ එයින් පක්ෂ 10 ක් ය. අදින් ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණයට ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ජාතික පක්ෂ හයක් තරඟ කරන අතර ඒවා නම්, භාරතීය ජනතා පක්ෂය (BJP), ඉන්දියානු ජාතික කොංග්‍රසය (INC), ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) [CPI(M)], බහුජන් සමාජ පක්ෂය (BSP), ජාතික ජනතා පක්ෂය (NPP) සහ ආම් අදම් පක්ෂය (AAP) යි. සෙසු පක්ෂ ද තරඟ කරන බව සඳහන් වනවා.
ලෝක් සභාව යනු ඉන්දියාවේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව වන අතර එහි ඉහළ මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ රාජ්‍ය සභාව ලෙසයි. ආසන 543 කින් සමන්විත ලෝක් සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ වැඩිහිටි සර්වජන ඡන්ද බලයකින් වන අතර, ඔවුන් වසර පහක් හෝ ජනාධිපතිවරයාගේ උපදෙස් මත සභාව විසුරුවා හරින තෙක් ඔවුන්ගේ ආසන දරන බව ද සඳහන් වනවා. ව්‍යවස්ථාදායක වගකීමක් ලෙස ලෝක් සභාවේ දී ඉන්දියාවේ නීති සම්මත කිරීම, අධීක්ෂණ වගකීමක් ලෙස විධායකය එහි රාජකාරි සතුටුදායක ලෙස ඉටු කරන බව සහතික කිරීම ආදිය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම් අතර වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අගමැති නරේන්ද්‍ර මෝදි සහ කොංග්රස් නායක රාහුල් ගාන්ධි ඉන්දීය ජනතාවගෙන් ඡන්ද බලය භාවිත කරන ලෙසට ඉල්ලීම් සිදු කර තිබෙනවා. කූච් බෙහාර්, ජල්පයිගුරි සහ අලිපූර්දුආර් යන ආසන තුනේ හි ඡන්ද විමසීම පැවැත්වෙන බටහිර බෙංගාලයේ අද පැවති මැතිවරණ කටයුතු අතරතුර වරින් වර ප්රචණ්ඩ සිදුවීම් වාර්තා වූ බව සඳහන් වන අතර අද පෙරවරු 10 පමණ වන විට භාරතීය ජනතා පක්ෂය සහ සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රසය යන දෙකම කූච් බෙහාර් ලෝක් සභා ආසනයේ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බව සඳහන් වනවා.
මැතිවරණ ප්‍රතිඵල එලඹෙන ජුනි 4 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.