දිනසේන රතුගමගේ –
යාපනයේ අනලතීව් දුපතෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදහන් වී සිටි ධීවරයින් දෙදෙනා ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්ටිනම් වෙරළට අබලන් වූ බෝට්ටුව සමග ඊයේ (12 ) රාත්‍රී ගොඩ ගසා තිබේ.
අනලයිතිවි ප්‍රදේශයේ පදිංචි තිරුචෙල්වම් මිචල් ප්‍රනාන්දු සහ නාගලිංගම් විජයකුමාර් යන ධීවරයින් දෙදෙනා ගමන් කළ බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වීමෙන් පසුව ඔවුන්ගේ බෝට්ටුව ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාව දෙසට පාවී ගොස් තිබේ.
ඉන් අනතුරුව මහ මුහුද අතරමගදී බෝට්ටුව යමක ගැටීම නිසා එය බොහෝ සෙයින් අබලන් වී ඇති අතර ධීවරයින් දෙදෙනා අබලන් වූ බෝට්ටුවේ එල්ලී සිටියදී එය ඉන්දියාව දෙසට පාවී ගොස් තිබේ.
යාපනයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවට පණිවුඩ ඉන්දියාවට යවා තිබීම නිසා තමිල්නාඩු වෙරලාක්ෂක නිලධාරීන් හා පොලීසිය මේ ධීවරයින් දෙදෙනාව වහාම මුදවා ගෙන රෝහල් ගත කොට ඇත.
එම ධීවරයින් දෙදෙනාට තුවාල සිදුව ඇති නිසා ඔවුන් නාගපට්ටිනම් රෝහලේ දැනට ප්‍රතිකාර ලබන අතර තමිල්නාඩු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය වෙත දැනුම් දී තිබේ.







