ගම්පල රොහලේ අඩි 40ක් උසින් පිහිටි ප්‍රධාන වතුර ටැංකියේ තිබී හමු වී තිබුණු, දින 56කට පෙර රෝහලෙන් අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර හඳුනාගත හැකි සේ මැනවින් ආරක්ෂා වී තිබීම බරපතල සැකයකට හේතු වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පොලිස් සැරයන් වරයෙක් වූ එස්.ඉලන්බෝවන් නැමැති අයෙකි. කලක් ඔහු තොණ්ඩමන් ඇමතිවරයාගේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කර ඇති අතර අනතුරුව කොත්මලේ සහ පුණ්ඩළුඔය පොලිසිවල රාජකාරි කර ඇත.

මෙම සැරයන්වරයාගේ පවුලේ සියලු දෙනා කොවිඩ් ආසාදිතව සිටි බවත්, කොවිඩ් රෝග ලක්ෂණවලින් එන බරපතල තත්ත්ව මතුවීම නිසා ඔහු රෝහල් ගත කළ බවත් වාර්තා වේ.
සැප්තැම්බර් 08 දවල් සිට සැරයන්වරයා වාට්ටුවෙන් අතුරුදන් වී තිබේ. එදා සිට පුණඩලුඔය, කොත්මලේ ගම්පල පොලිසිවලින් ඔහු පිළිබඳ නිරන්තර සෙවීමක් සිදු කළත් කිසිම ආරංචියක් ලැබී නැත.
මේ අතර ජල ටැංකිය අවටින් එන දුර්ගන්ධයක් නිසා කළ සොයා බැලීමේ දී පසුගිය 29 වැනිදා මෙම සිරුර සොයා ගන්නා විට සැරයන්වරයා අතුරුදහන් වී දින 56ක් ගත වී තිබිණි.

එහෙත් සැකයට තුඩු දෙන කාරණාව වන්නේ දින 56කට පෙර අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ඉතා හොඳින් ආරක්ෂා වී තිබීමය. දින 56කට පෙර ජලයේ දී මිය ගියානම් මේ වනවට සිරුර හඳුනාගත නොහැකි සේ දැඩි හායනයකට ලක් විය යුතු බව විමර්ශන අංශ පවසයි.
මේ තැනැත්තා මරා අඩි 40ක් උස ජල ටැංකිය මතට රැගෙන යෑම කළ නොහැකි බවත්, කොවිඩ් සමග ඇතිවන මානසික ආතති තත්වයක් යටතේ ජල ටැංකි මතට නැගීමට ගොස් ඒ තුළට ඇද වැටී මෙම මරණය සිදු වී ඇතිදැයි සැක සහිත බවත් විමර්ශකයෝ කියති.
මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දී ඇති පොලිස් සැරයන්වරයාගේ පුත් එස්.අභිමාන් කියා ඇත්තේ පියා ප්‍රතිකාර සඳහා ගම්පල රෝහලට ඇතුළත් කර දින 02කින් අතුරුදහන් වූ බවය.
“ තාත්තා ගෙදර එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. එයා ගෙදරට ඉතාම සමීපයි. පොලිසිය තුළවත් කිසිම ප්‍රශ්නයක් එයාට නෑ. සිය දිවි හානි කරගන්න කිසිම හේතුවක් එයාට තිබුණෙ නෑ. මරණය ගැන විශාල සැකයක් තියනවා.“
“අප ඉල්ලා සිටිනවා මරණය ගැන ඉතාම විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. සිද්ධ වුනේ මොනවද කියලා හොයලා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා.“ ඔහු කීවේය.

ගම්පල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රීයන්ත පීරිස්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.
මේ අතර ගම්පල රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් රොහලේ ජල ටැංකිය තුළ දියවෙන්නට හැර ඒ ජලය දහස් සංඛ්‍යාත රෝගීන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට පරිභෝජනය කිරීමට සැලැස්වූ රෝහලේ පාලන අධිකාරියේ අකාර්යක්ෂම වගකීම් රහිත ක්‍රියාකලාපය ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසය.







