-
නීති සහ සදාචාරයේ මූලික වගකීම් බිඳ දමා සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහල පොලිස් කණ්ඩායමට එරෙහිව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුල වාර්තාවක් සපයන්නයි පොලිස් කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කරයි…
අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති වැදගත්ම සැකකරු වන සිද්ධිය වූ ටැටූ චිත්‍රාගාරයේ හිමිකාර තරුණයා විලංගු පිටින් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් ඔහු ලවා පාපොච්චාරණයක් කරවා සමාජ ගත කිරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපණ ඇතුළු නිලධාරීන් සම්බන්ධව දැඩි විනය පියවරක් ගනීමට පොලිස් කොමිසම .තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම පොලිස් නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායමේ උක්ත හැසිරීම දැඩි ලෙස විවේචනය කර ඇති පොලිස් කොමිසම සැක කරුවන් පිළිබඳ මේ ආකාරයේ හෙළිදරව් කිරීම් තහනම් කරමින් වෙනත් පොලිස්පතිවරුන් යටතේ විශේෂ චක්‍රලේඛ ගණනාවක් නිකුත් වී තිබිය දි මේ එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙම නිලධාරියා හැසිරී ඇත්තේ කෙසේ දැයි පොලිස් කොමිසම විමසා ඇත.
සිද්ධියට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව දෙසතියක් තුළ පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල වාර්තාව පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ද කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අත් අඩංගුවට පත් සැකකරුවෙකුගේ දර්ශන රූගත කර ඔහුගේ ප්‍රකාශත් සමග මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පොලිසිය මැදිහත්වීම සම්බන්ධව ඊයේ (10) අධිකරණයේ දැඩි අවධානය ද යොමු විය.
සැක කරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඇය පොලිසියට නියෝග කළේ අවශ්‍යනම් බන්ධනාගාරයට ගොස් අවශ්‍ය සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසය.
එමෙන්ම ලොකු පැටීගේ ගෝලයින් ලෙස සැලකෙන අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටින බැවින් සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද ඇය බන්ධගානාගාර නිලධාරීන්ට නියෝග කළාය.







