යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ දී ඔහුට අත් විලංගු නොදැමුවේ විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට නොව, අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එවැනි අවශ්‍යතාවයක් විමර්ශන නිලධාරීන් විෂයෙහි පැන නොගුන නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග අද (26) පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 23 වැනි වගන්තිය අනුව පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමේ දී ඔහුට අත් විලංගු දමන්නේ එම තැනැත්තා අත් අඩංගුවට ගැනීමේ දී ඊට එරෙහිව කලහකාරී ලෙස හැසිරීමක් සිදුකළහොත් එය පාලනය කරගැනීමේ උපක්‍රමයක් ලෙස බවත්, එය තීරණ කරන්නේ එම ස්ථානයේ සිටිනා විමර්ශන නිලධාරියා බවත්ය.
අත් අඩංගුවට ගැනීමේ දි යෝෂිත රාජපක්ෂට විශේෂ කොට සලකා ඔහුට අත් විලංගු හෝ නොදැමූ බව සමාජ මාධ්‍යයේ ඇති වී තිබෙන කථිකාව පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කරුණු පැහැදිලි කළේ මෙසේය.
“මාංචු දැමීම කියන එක….. අපි මේ අත් අඩංගුවට ගැනීම් සිද්ධකරන්නේ යම්කිසි නෛතික පදනමක් මත. 1979 අංක 15 දරන අපරාධ විධි විධාන සංග්‍රහ පනතේ 23 වැනි වගන්තියේ තියනවා කොහොමද යම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගන්න ඕන කියලා.එතනදි ඔහු පැනයෑම, ඔහු සිර භාරයට ගැනීම සඳහා ඔහු විරුද්ධ වනවා නම් ඔහු පාලනය කරගන්න කරන උපක්‍රමයක් තමයි මේ අත් විලංගු දැමීම.”
“එවැනි අවස්ථාවක් නැතිව ඔහු අවනත වෙනවා නම් අපට අවශ්‍ය වෙන්නේ නෑ ඔහු අත් විලංගු දමා ගෙන යෑම. ඒ වගේම තමයි එය තීරණය කරන්නේ එම මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරියා.”
“ඒ අනුව මේ සිදුවීමේ දි කිසිම ගැටලුවක් හෝ පොලිසිය පැත්තෙන් කිසිම වරදක් සිද්ධ වෙලා නෑ. නෛතික පිළිවෙළට අනුව එය සිද්ධ කරලා තියනවා. “පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අත් අඩංගුවට ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් කර තිබේදැයි යන්න ගැන මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එවැනි කිසිම තත්ත්වයක් නැති බවය.
“ඉතාම පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න පුලුවන් කිසිසේත්ම විමර්ශන සදහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂය භාර ඇමතිවරයා හෝ වෙනත් කිසිම දේශපාලන පාර්ශවයක මැදිහත්වීමක් නෑ.”
“අත් විලංගු දැමීම හෝ නොදැමීම විමර්ශන නිලධාරියා ඒ මොහොතේ කල්පනා කරලා ගන්න තීරණයක්. අමාත්‍යාංශ ලේකම්වරයා හෝ අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිම කෙනෙක් මේ සඳහා කිසිදු ඇඟිලි ගැසීමක් සිද්ධ කරලත් නෑ, එහෙම ඇඟිලි ගැසීමක් උනත් නැතත් විමර්ශන නිලධාරීන් කටයුතු කරන්නේ නෛතික පිළිවෙත මතම තමයි.”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







