යතුරු පැදියකින් පැමිණ කාන්තා අත් බෑග් කොල්ලකන ගම්පහ මිනීමරු කොල්ලකාර අඹු සැමි යුවල ඊයේ ( 29) පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
ඔවුන් අත්අඩංගුවට පත්වන්නේ කොටුගොඩ මදුරවිට ප්‍රදේශයේ දී ය. පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට ගිය අවස්ථාවේ දි එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් ඔහුට වෙඩි තැබීමට පොලිසියට සිදු වී ඇත
මේ වනවිට වෙඩි වැදුන කොල්ලකරු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.
පසුගිය 21 දා රාත්‍රියේ විදුලි කප්පාදුව අතර යතුරුපැදියකින් පැමිණි මෙම කොල්ලකාර අඹුසැමි යුවල ගම්පහ අකරවිට අතුරු මාර්ගයක දී අත් බෑගයක් කොල්ල කෑම වැළැක්වීමට ගිය රසික විනෝද් ප්‍රනාන්දු නැමැති 29 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබිණි.
එම තරුණයා සමග තරුණයාගේ මාමණ්ඩිය ද කොල්ලකරුගේ පිහි පහරට ලක් විය. තරුණයාගේ මාමණ්ඩිය ගම්පහ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් ඇත.
මෙම අපරාධය කළ කොල්ලකාර යුවල යතුරුපැදියත්, කොල්ල කෑ තවත් කාන්තා අත් බෑග 03ක් ද සිද්ධිය වූ ස්ථානයේ දමා පලාගොස් තිබිණි.
මෙම යුවල සොයා විමර්ශන ආරම්භ කළ ගම්පහ පොලිසිය ඔවුන් කොටුගොඩ මදුරවිට දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී කොල්ලකරු පොලිසියටත් පිහි පහර එල්ල කිරීමට උත්සාහ කරද්දී පොලිස් වෙඩි පහරට ලක් වී ඇත.
ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







