කීර්ති ප්‍රනාන්දු –
ප්‍රධාන වෘත්තීය වේදීන් ඇතුළු වෘත්තීය සංගම් 22ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය විරෝධතා ව්‍යාපාරය සාර්ථක වී ඇතැයි වෘත්තීය සංගම් පවසයි.
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න ලංකාසර කළ විමසීමක දී ප්‍රකාශ කළේ සෑම පැත්තකින්ම බැට කා සිටින අසරණ මිනිසුන් ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් දිනා ගැනීමේ අභිලාෂයක් විදුලි ඉංජිනේරු සංගමයට මෙන්ම සමස්ථ වෘත්තීකයින්ටම නොමැති බවය.
විදුලි බිල වැඩිකිරීම සදහා රජය උසස් පෙළ සිසුන් ප්‍රාණ ඇපයට ගත්තා සේ හැසිරෙන්නට වෘත්තිකයන් කටයුතු නොකරන බව ද ඔහු පැවසුවේය.
විදුලි ජනනය සම්ප්‍රේක්ෂණය සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය අවම සේවක පිරිස සේවයේ යොදවා ඇති බවත් ඉතිරි සියල්ලන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත්ය.
විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත පැවසුවේ රජයේ බදු ප්‍රතිපත්තියට විරුද්ධ නමුත් අද විදුලි අධිකාරීවරුන් ඇතුළු කණ්ඩායම් සේවයට වාර්තා කර ඇති බවය.
“ රජය ගෙනයන ක්‍රියාමාර්ගයට අපි විරුද්ධයි. පසුගිය 27 වැනිදා අප උද්ඝෝෂණයක් සහ විරෝධතාවයක් දියත් කර අපේ ස්ථාවරය ප්‍රකාශ කළා. අද විරෝධය දක්වන්නෙ නැති ප්‍රධානම හේතුව විදුලිබල මණ්ඩලය තුළ ඉන්න කණ්ඩායම් සැබෑ ඉල්ලීම් නෙමෙයි ඒ විරෝධතාවයට ගෙනියන්නෙ.”
“අද සාමාන්‍ය සේවය කරනවා. අධිකාරීවරුන් ඇතුළු කණ්ඩායම් රාජකාරිය යෙදනවා. ඉන් කියන්නෙ නෑ අවිධිමත් බදු ප්‍රතිපත්තිය හරි කියලා.”
“අපි මේ අවස්ථාවේ දී රාජකාරියෙ යෙදෙනවා. විදුලි සැපයුමට බාධා කරන්න කිසිම අදහසක් නෑ.” විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත පැවසුවේය.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සහ සහ කොලොන්නාවේ සාර්ථක අයුරින් ක්‍රියාත්මක බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේය.
“බෙදා හැරීම් කඩාකප්පල් කරන්නෙ නෑ. එහෙත් අකුරට වැඩ කිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයි. අද දවල් 12 ට කෑම පැයේ දි උද්ඝෝෂණයක් කරන්න සූදානම්” අශෝක රන්වල පැවසුවේය.







