කපිල කේ හීනටියන –
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේදය දැඩි වෙමින්, නේටෝ සන්ධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන ජර්මනියේ ස්ථානගත කර සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කරගන්නා බව පෙන්ටගනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ජර්මන් චාන්සලර් සහ ට්‍රම්ප් අතර ගැටුම
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර පසුගිය දින කිහිපය පුරා ඇති වූ උණුසුම් වාදවිවාදවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වීමට බලපෑ ආසන්නතම හේතුව වූයේ, ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ජර්මනිය අනුගමනය කරන ස්වාධීන පිළිවෙතය.
ඉකුත් සඳුදා විශේෂ ප්‍රකාශයක් කළ චාන්සලර් මර්ස්, වොෂින්ටනයේ යුද උපායමාර්ග විවෘතව විවේචනය කළේය. ඔහු අවධාරණය කළේ මාස දෙකක් තිස්සේ ඇදී යන මෙම ගැටුම හමුවේ අමෙරිකානු රජය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, ඉරානය සමඟ පවතින සාකච්ඡාවලදී අමෙරිකාව පරාජය වෙමින් පවතින බවත්ය. අමෙරිකාවට මෙම යුද්ධයෙන් සාමකාමීව ඉවත් වීමට නිසි සැලසුමක් (Exit Strategy) නොමැති බවට ඔහු එල්ල කළ චෝදනාව ට්‍රම්ප් පරිපාලනයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
මෙම මතභේදයට මූලික නිමිත්ත වන්නේ පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රයාලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමේදී ජර්මනිය ඇතුළු යුරෝපා මිත්‍ර රටවල් සමඟ පූර්ව සාකච්ඡා නොපැවැත්වීමය. චාන්සලර්වරයා මුල සිටම පෙන්වා දෙන්නේ යුරෝපයේ ආරක්ෂාවට සෘජුවම බලපාන මෙවැනි තීරණ ගැනීමේදී අමෙරිකාව සිය මිත්‍ර රටවල් නොසලකා හැර ඇති බවය. මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපති ට්‍රම්ප් වෙත සෘජුවම සිය විමතිය සහ විරෝධය පළ කළ බව ද මර්ස් සඳහන් කළේය.
ජර්මනියේ මෙම විවේචනාත්මක ස්ථාවරය පෙන්ටගනය සහ ධවල මන්දිරය සැලකුවේ මිත්‍ර රටකගෙන් එල්ල වූ “අකෘතඥ” ප්‍රකාශයක් ලෙසිනි. පෙන්ටගන නිලධාරීන් පෙන්වා දෙන්නේ ජර්මනියේ මෙම ප්‍රකාශයන් ඉරානයට වාසිදායක වන අතර එය අමෙරිකානු සෙබළුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වන බවය. ජනාධිපති ට්‍රම්ප් මෙයට ප්‍රතිචාර දැක්වූයේ ජර්මනිය අමෙරිකානු හමුදා ආරක්ෂාව භුක්ති විඳිමින් අමෙරිකාවටම එරෙහිව කටයුතු කරන බව පවසමිනි. මෙම වාග් යුද්ධය අවසානයේ නතර වූයේ ජර්මනියේ රැඳී සිටින හමුදා ඛණ්ඩයක් ඉවත් කරගන්නා බවට ට්‍රම්ප් කළ නිල නිවේදනයෙනි.
ජර්මනිය විසින් දැනටමත් ආරක්ෂක වියදම් ඉහළ නැංවීමටත්, අමෙරිකාවට සිය කඳවුරු සහ ගුවන් සීමාව භාවිත කිරීමටත් අවසර දී තිබියදී මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව ජර්මන් හමුදා නිලධාරීන් පුදුමය පළ කර ඇත.

හමුදා ඉවත් කරගැනීමේ කාලසටහන
ලබා දී ඇති සැලසුම් අනුව මෙම සෙබළුන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ අවසන් කිරීමට නියමිතය. දැනට ජර්මනිය තුළ අමෙරිකානු සක්‍රීය සේවයේ නියුතු සෙබළුන් 35,000ක් පමණ රැඳී සිටින අතර, එය යුරෝපයේ ඕනෑම රටක සිටින වැඩිම අමෙරිකානු හමුදා සෙබල සංඛ්‍යාව වේ. හමුදා බලඇණියක් ලෙස මෙම සෙබළුන් ඉවත් කරගැනීමත් සමඟ යුරෝපයේ අමෙරිකානු හමුදා ශක්තිය 2022 වසරට පෙර පැවති මට්ටමට පහත වැටෙනු ඇත.
ජර්මනියේ අමෙරිකානු හමුදා රැඳී සිටීමේ උපායමාර්ගික පසුබිමක් තිබිණි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ වූ අමෙරිකානු හමුදා ජර්මනිය තුළ රැඳී සිටීමට දශක අටකට ආසන්න ඉතිහාසයක් ඇත. ජර්මනියේ ඇමරිකානු හමුදා කඳවුරු ක්‍රියා කරනු ලැබුවේ යුරෝපයේ ආරක්ෂක මර්මස්ථානය ලෙසය.
මෙම රැඳී සිටීම හුදෙක් ජර්මනියේ ආරක්ෂාව සඳහාම පමණක් නොව, අමෙරිකා එක්සත් ජනපදයට මැදපෙරදිග, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය පුරා සිය මිලිටරි බලය මෙහෙයවීම සඳහා වන ප්‍රධාන මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් ලෙසද වැදගත් විය. විශේෂයෙන්ම ජර්මනියේ පිහිටි ‘ලෑන්ඩ්ස්ටුල්’ (Landstuhl) ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය වැනි පහසුකම්, අමෙරිකාවෙන් බැහැරව ලොව පවතින විශාලතම හමුදා රෝහල් ජාලය වන්නේය., යුද බිමේදී තුවාල ලබන සෙබළුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේය.
ජර්මනියේ ඇමරිකානු හමුදා හිටිය හැටි
මෙම හමුදා බලඇණිය නඩත්තු කිරීමේ පිරිවැය බෙදී යන ආකාරය පිළිබඳව කාලයක සිට දෙරට අතර දැඩි මතභේද පැවතිනි. අමෙරිකානු සෙබළුන්ගේ වැටුප් සහ සෘජු හමුදා උපකරණ පිරිවැය වොෂින්ටනය විසින් දරනු ලැබුවද, ජර්මානු රජය වක්‍රව විශාල මූල්‍ය දායකත්වයක් සපයයි. ඒ යටතේ හමුදා කඳවුරු සඳහා ඉඩම් ලබා දීම, එම කඳවුරුවල යටිතල පහසුකම් නඩත්තුව සහ එහි සේවය කරන සිවිල් සේවකයන් සඳහා වැයවන මුදල්වලින් කොටසක් ජර්මනිය විසින් දරනු ලැබේ.
කෙසේ වෙතත්, නේටෝ (NATO) සම්මුතීන්ට අනුව ජර්මනිය සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් නොකිරීම පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියේය. ට්‍රම්ප් කීවේ අමෙරිකාව ලබා දෙන ආරක්ෂාව හමුවේ ජර්මනිය ප්‍රමාණවත් මූල්‍ය දායකත්වයක් නොදක්වන බවය.
ඒ අනුව පවතින මතභේදකාරී තත්ත්වය තුළ ජර්මනියේ රැඳී සිටින සෙබළුන් සංඛ්‍යාව 5,000කින් කප්පාදු කිරීම හුදු දේශපාලන තීරණයකට වඩා යුරෝපයේ සමස්ත ආරක්ෂක ව්‍යුහය කෙරෙහි බලපාන සාධකයක් බව පෙනී ගොස් ඇත. යුරෝපයේ බලවතුන් පෙන්වා දෙන්නේ රුසියානු බලපෑම සහ නැගෙනහිර යුරෝපයේ පවතින අස්ථාවරත්වය හමුවේ අමෙරිකානු හමුදා ඉවත් කරගැනීම රුසියාව වැනි රටවලට සිය බලය ව්‍යාප්ත කිරීමට ලැබෙන අවස්ථාවක් බවයි. මේ හේතුවෙන්, ට්‍රම්ප්ගේ මෙම තීරණය ජර්මනිය සහ අමෙරිකාව අතර පමණක් නොව, සමස්ත නේටෝ සන්ධානයේම ඉදිරි ගමන සහ අත්ලාන්තික් සාගරයෙන් එපිට පවතින මිත්‍රත්වය කෙරෙහි දැඩි සැකසංකා මතු කිරීමට සමත්ව තිබේ.

මිත්‍ර රටවලට එල්ල වන ඇමරිකානු පීඩනය
යුරෝපය තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් විසින්ම දැරිය යුතු බවට ජනාධිපති ට්‍රම්ප් ගෙන යන ප්‍රතිපත්තිය මෙහිදී කැපී පෙනේ. කෙසේ වෙතත්, මිත්‍ර රටවල් තමන්ට සහයෝගය නොදක්වන්නේ යැයි හැඟෙන සෑම අවස්ථාවකම ට්‍රම්ප් පියවර ගන්නා බව මෙමගින් යළිත් තහවුරු වී ඇත.
ඉකුත් සතියේ රොයිටර් පුවත් සේවය අනාවරණය කළේ ඉරාන යුද්ධයේදී අමෙරිකාවට සහය නොදක්වන රටවල් දඬුවම් කිරීමට පෙන්ටගනය විකල්ප සොයමින් සිටින බවය. ස්පාඤ්ඤය නේටෝ සන්ධානයෙන් තාවකාලිකව ඉවත් කිරීම සහ බ්‍රිතාන්‍යය සතු ෆෝක්ලන්ත දූපත් අයිතිය පිළිබඳ අමෙරිකානු ස්ථාවරය යළි සලකා බැලීම වැනි දැඩි යෝජනා ද ඒ අතර වේ.
මේ වනවිට ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් ද සෙබළුන් ඉවත් කරගැනීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා ඉඟි කර තිබේ. ස්පාඤ්ඤ සමාජවාදී නායකත්වය සිය ගුවන් සීමාව හෝ හමුදා කඳවුරු ඉරානයට පහරදීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීම නිසා ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළඳ සම්බාධක පැනවීමටද ට්‍රම්ප් මීට පෙර තර්ජනය කර තිබුණි.
එමෙන්ම, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි සහ ලියෝ පාප්වහන්සේ සම්බන්ධයෙන් ද ට්‍රම්ප් දැඩි විවේචන එල්ල කර ඇත. ලෝක තෙල් සැපයුමේ ප්‍රධාන මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට යුරෝපා මිත්‍ර රටවල් තම නාවික හමුදාවන් එවීම ප්‍රතික්ෂේප කිරීම ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු වී තිබේ.
යුරෝපයෙන් තවත් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තීරණයක් ගෙන නැති බව විදෙස් වාර්තා පවසයි. හිටපු පෙන්ටගන නිලධාරියෙකු වන ඉම්රාන් බයෝමි පවසන්නේ මෙම හමුදා කප්පාදුව හරහා අමෙරිකාව සහ යුරෝපය අතර පවතින සබඳතා තවදුරටත් බිඳ වැටීමට ඉඩ ඇති බවය. වොෂින්ටනය තවදුරටත් විශ්වාස කළ නොහැකි සහකරුවෙකු ලෙස සලකා යුරෝපා රටවල් තමන්ගේම ආරක්ෂක පද්ධතීන් ශක්තිමත් කරගැනීමට පෙළඹෙනු ඇති බව ඔහුගේ අදහසය.







