ඉරානයට එල්ල වූ ඒකාබද්ධ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වීමට පැය 48කටත් අඩු කාලයක් තිබියදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අතිශය තීරණාත්මක දුරකථන සංවාදයක් සිදුව ඇති බව රොයිටර් පුවත්සේවය වාර්තා කරයි.
මීට පෙර කිසිදු මාධ්‍යයකින් වාර්තා නොවූ මෙම සංවාදය, ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක විදේශ ප්‍රතිපත්තිමය තීන්දුවක් වූ ඉරාන යුද්ධය සඳහා ට්‍රම්ප්ව පොළඹවා ගැනීමට බලපෑ ප්‍රධානතම සාධකය ලෙස දැන් හඳුනාගෙන තිබේ.
තීරණාත්මක මොහොත සහ බුද්ධි තොරතුරු
එම සතිය මුලදී ලැබුණු අතිශය රහසිගත බුද්ධි තොරතුරු වලට අනුව, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ ප්‍රධාන පෙළේ සහායකයින් පිරිසක් ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිල නිවසේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණි. මේ තොරතුරු මොසාඩ් සංවිධානය අතට පත් වූයේය.
ඉරානයේ අතිශය සංවේදී සංචලනයන් පිළිබඳ බුද්ධි තොරතුරු අඛණ්ඩව ඊශ්‍රයාලය වෙත ලැබෙමින් තිබීම මෙම ගැටුමේ දී පෙනෙන තියුණුම ලක්ෂණය ය. මේ තොරතුරු ගලාගෙන යන්නේ පාලන තන්ත්‍රයේ ඉහළම තැනකින් බවත් අතිශය සීමිත පිරිසක් අතර සංචලනයවන තීරණාත්මක සිද්ධි ඊශ්‍රයාල බුද්ධි අංශ වෙත අනාවරණය වීමත් මේ යුද්ධයේ දී ඉරානය වික්ෂිප්ත කළ ප්‍රධානම සාධයක විය. එය බෝම්බ සහ මිසයිල ප්‍රහාර සියල්ලටම වඩා බලවත් කම්පනයක් ඔවුන් තුළ ඇති කර තිබිණි.
ඊශ්‍රායලය විසින් “හිස ගසා දැමීමේ ප්‍රහාරයක්” (Decapitation Strike) ලෙස හඳුන්වන, එනම් රටක ඉහළම නායකත්වය ඉලක්ක කර ගනිමින් එල්ල කරන මෙම ප්‍රහාරය සැලසුම් සැකසෙන්නේ ඒ අතිශය සංවේදී තොරතුරු මතය. ඊශ්‍රායලය මෙවැනි ප්‍රහාර සඳහා ප්‍රසිද්ධියක් ඉසුලුවද, ඇමෙරිකානු සම්ප්‍රදාය තුළ මෙවැනි පියවරක් ගැනීම සාමාන්‍යයෙන් අඩුවෙන් සිදු වන්නකි.
ටෙහෙරානයේ සිදුවන සංවේදී සංචලන සම්බන්ධව අඛණ්ඩව බුද්ධි තොරතුරු ඊශ්‍රයාලය වෙත ගලා ආවේය. අලුත්ම සත්‍යාපිත බුද්ධි තොරතුරක් කීවේ සෙනසුරාදා රාත්‍රියේ පැවැත්වීමට තිබූ මෙම හමුව සෙනසුරාදා උදෑසන දක්වා පෙරට ගෙන ඇති බවය. මෙම හදිසි වෙනස්වීමත් සමග ක්‍රියාත්මක වූ නෙතන්යාහු, වහාම ජනාධිපති ට්‍රම්ප් ඇමතීමට පියවර ගත්තේය.

පළිගැනීම සහ දශක කිහිපයක සිහිනය
දශක කිහිපයක සිට ඉරාන පාලනයට එරෙහිව මෙවැනි මෙහෙයුමක් දියත් කිරීමට නෙතන්යාහු උත්සාහ කරමින් සිටියේය. ට්‍රම්ප් සමග පැවති දුරකථන ඇමතුමේදී ඔහු අවධාරණය කළේ, කමේනි ඝාතනය කිරීමටත්, මීට පෙර ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ඉරානය දැරූ උත්සාහයන්ට පළිගැනීමටත් මීට වඩා හොඳ අවස්ථාවක් නැවත කිසිදා නොලැබෙනු ඇති බවය.
මෙහිදී 2024 වසරේ ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී ඔහුව ඝාතනය කිරීමට ඉරානය විසින් දියත් කළ කුමන්ත්‍රණය පිළිබඳවද මතක් කර දී තිබේ. එම කුමන්ත්‍රණය ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානී කාසෙම් සෝලෙයිමානිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස සැලසුම් කර තිබූ බවත්, ඒ සඳහා පකිස්ථාන ජාතිකයෙකු යොදවා තිබූ බවත් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කර තිබුණි.
ට්‍රම්ප්ගේ තීරණය සහ “එපික් ෆියුරි”
මෙම දුරකථන ඇමතුම සිදුවන විටත්, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුමකට ට්‍රම්ප් සිය අනුමැතිය ලබා දී තිබුණි. එහෙත් එය කවදා, කිනම් තත්ත්වයක් යටතේ සිදු කරන්නේද යන්න පිළිබඳව ඔහු අවසන් තීරණයක් ගෙන තිබුණේ නැත. මීට දින කිහිපයකට පෙර මෙවැනිම මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර තිබුණද, අයහපත් කාලගුණය හේතුවෙන් එය අත්හැර දමා තිබුණි.
අවසානයේ පෙබරවාරි 27 වනදා, ට්‍රම්ප් සිය හමුදාවට “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවසන් නියෝගය ලබා දුන්නේය. පෙබරවාරි 28 වනදා උදෑසන පළමු බෝම්බය ඉරානයට පතිත වූ අතර, එදිනම සවස් වන විට අලි කමේනි මියගිය බවට වන පුවත ලොවට දැනුම් දීමට ට්‍රම්ප් පියවර ගත්තේය.
ධවල මන්දිරයේ සහ ඊශ්‍රායලයේ ස්ථාවරය
ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී මෙම දුරකථන ඇමතුම පිළිබඳව සෘජුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළද, ඇය පැවසුවේ මෙම හමුදා මෙහෙයුමේ අරමුණ වූයේ ඉරාන පාලනයේ බැලිස්ටික් මිසයිල නිෂ්පාදන ධාරිතාව සහ නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම බවය. එසේම ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට නොහැකි වන බව සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
අනෙක් අතට, නෙතන්යාහු පසුගිය බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, ඊශ්‍රායලය විසින් ඇමෙරිකාව මෙම ගැටුමට ඇද දැමූ බවට පළවන වාර්තා “ව්‍යාජ පුවත්” (Fake News) බවය.
“කවුරුහරි හිතනවාද ජනාධිපති ට්‍රම්ප්ට කළ යුතු දේ ගැන නියෝග දෙන්න කාට හරි පුළුවන් කියලා?” යනුවෙන් ඔහු එහිදී ප්‍රශ්න කළේය.
යුද්ධය දක්වා ආ ගමන් මග
ට්‍රම්ප් මුලදී “America First” ප්‍රතිපත්තිය මත පදනම්ව ඉරානය සමග යුද්ධයක් මගහරවා ගැනීමට උත්සාහ කළේය. එහෙත් පසුගිය වසරේ වසන්ත සමයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා අසාර්ථක වීමත් සමග, ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ඔහු සලකා බැලීමට පටන් ගත්තේය.
- ජූනි ප්‍රහාරය: පසුගිය ජූනි මාසයේදී පළමු වරට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ මිසයිල අංගන රැසක් විනාශ විය.
- දෙසැම්බර් සාකච්ඡා: දෙසැම්බර් මාසයේදී ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා නිවසේදී (Mar-a-Lago) හමු වූ නෙතන්යාහු, ජූනි ප්‍රහාරයේ ප්‍රතිඵල පිළිබඳව තමා සෑහීමකට පත් නොවන බවත් තවත් දැඩි පියවර ගත යුතු බවත් පවසා තිබුණි.
- වෙනිසියුලා මෙහෙයුම: ජනවාරි 3 වනදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකාව කළ මෙහෙයුමේ සාර්ථකත්වය, ට්‍රම්ප්ට හමුදා මෙහෙයුම් පිළිබඳව වැඩි විශ්වාසයක් ලබා දීමට හේතු විය.
- ඉරාන විරෝධතා: ජනවාරි මාසයේදී ඉරානය තුළ ඇති වූ මහා පරිමාණ ආණ්ඩුවට එරෙහි විරෝධතා මර්දනය කිරීමට IRGC බලකාය කටයුතු කළ ආකාරය, ට්‍රම්ප්ව තවදුරටත් කෝපයට පත් කළේය.
වත්මන් තත්ත්වය සහ අනාගත අවදානම
ට්‍රම්ප් සහ නෙතන්යාහු බලාපොරොත්තු වූයේ කමේනිගේ මරණයත් සමග ඉරාන පාලනය පෙරළා දමන විප්ලවයක් ඇති වනු ඇති බවය. එහෙත් මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය (CIA) මීට පෙර අනතුරු අඟවා තිබුණේ, කමේනි ඝාතනය වුවහොත් ඔහු වෙනුවට ඊටත් වඩා අන්තගාමී පාලකයෙකු පත්වනු ඇති බවය. එම අනාවැකිය සනාථ කරමින් කමේනිගේ පුත් මොජ්ටාබා දැන් ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කර ඇත.
මේ වන විට යුද්ධය සිව්වන සතියට එළඹ ඇති අතර, ඉරාන සිවිල් වැසියන් 2,300කට අධික පිරිසක් සහ ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉරානය විසින් ඇමෙරිකානු කඳවුරු වලට සහ ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල අතිශය ඉහළ ගොස් ඇති අතර එය මුළු මහත් ලෝක ආර්ථිකයටම බලපෑම් එල්ල කරමින් තිබේ.
මහල්ලන් දෙදෙනෙකුගේ පුද්ගලික ඇරියස් කවර් කරගැනීමේ අශික්ෂිත උත්සාහය ලෝකය ගිනි තබා ඇති ආකාරය දැන් හෙළි වෙමින් ඇත්තේය. හෙට දින අවිනිශ්චිත මිනිසුන් ලෙස අපි මේ සිදුවන දේ දෙස බලාගෙන හිඳිමු.






