ජාලිය විරක්කොඩි –
ගතවෙමින් ඇත්තේ ඉතිහාසයේ ආශ්වදනීය මොහොතක් බව ලියා තැබිය යුතුය. රටේ මත්කුඩු සහ පාතාලය විනාශ කිරීම සඳහා වූ දින වකවානු සහිත කාල රාමුවක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසන ආකාරයට ජූනි 30 වනවිට මත් කුඩු හෝ පාතාලය ලංකාව තුල නැත. ඉතිහාසය අලුත් කරමින් කලින් දින වකවානු ප්‍රකාශ කර නැකැත් බලා ඊයේ (17) දිනයේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩීමේ මෙහෙයුම වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දියත් කළේය. මෙහෙයුමේ නම යුක්තිය ය.
වැඩබලන පොලිස්පති දේශබන්දුගේ යුක්තිය මෙහෙයුම මේ රටේ මිනිස්සුන්ගේ අපේක්ෂාවන් දැඩිව සඵර්ශ කරන්නකි. හේතුව මේ වනවිට මේ මත්ද්‍රව්‍ය ජාලය ගම්වල බිම් මට්ටමටත් පැමිණ හන්දියක් ගානේ කුඩු බෙදා හරින කුඩු පොට් විවෘත වෙමින් ඇති බැවිනි. හතර හන්දි කැඩි පතබෑවුන රටක් තුල සිදුවිය යුතු ආකාරයටම පාතාලය සහ මත්කුඩු ජාලය බලය අත්පත් කරගනිමින් සිටින බැවිනි. එබැවින්ම මේ මෙහෙයුම සම්බන්ධව ජනතාව ඉන්නේ දැඩි අවදියෙනි.
මත්ද්‍රව්‍ය සහ පාතාල මර්ධන මෙහෙයුම් සම්බන්ධව අතීත කතා අපට ඇති තරම් තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පිහිටුවීම
අපට අතපත ගෑ හැකි අතීතයේ සිට එය පෙළ ගැසුවහොත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියේ පාලන කාලයේ සිට මේ කතාව පෙළ ගැසිය හැකිය. අනූව දශකයේ මැද භාගය වනවිට මේ රටේ ප්‍රධානම මත් උවදුර වී තිබුණේ කසිප්පුය. එහෙත් අනාගත අවදානම දැඩිව මතුකරමින් මත්ද්‍රව්‍ය සහ මත් කුඩු ජාවාරම හිස ඔසවමින් සිටියේය. ජනාධිපති කාර්ය සාධක බලකායක නිර්දේශ මත චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පිහිටවනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම මේ මත් උවදුර රටින් තුරන් කිරීමටය.
මධ්‍යම කොට්ඨාසය භාරව කටයුතු කළ පොලිස් අධිකාරීවරයෙක් යටතේ පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම සහිතව රට පුරා ක්‍රියාත්මක වීමේ පූර්ණ බලය ඇති මෙම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ගම් දනව් සිසාර දැවැන්ත මෙහෙයුමක දියත් වූයේය. එවකට පොලිස්පති ලකී කොඩිතුවක්කුය.
වලාන මිලදි ගැනීමට බැරි බව හැම ජවාරම් කරුවෙක් මෙන්ම පොලිසියේ ජාවාරම් කරුවන් ද අවබෝධ කරගත්තේය. අදත් වලාන නම ඇසෙන විට සලිත වන්නේ එම ඒකකය දියත් කළ මෙහෙයුම් වල විනිවිදිනසුළු ඇත්ත, ජාවාරම් හමුවේ යටත් නොවුන නිලධාරී පෞරුෂය හා ඔවුන්ට නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා සහ රටේ විධායක ජනාධිපතිවරයා විසින් සැපයූ රැකවරණය හේතුවෙනි.
මෙම වකවානුවේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රස්ත විමර්ශන ඒකකය සමග ඒකාබද්ධව සිය මෙහෙයුම් ජාලය දියත් කළේය. නැකැත් බැලුවේ නැත. සංදර්ශන පැවත්වුයේ නැත. මෙම නිශ්ශබ්ද දීර්ඝ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ රට තුළ හිස ඔසවමින් තිබූ මත්කුඩු ජාවාරමට බරපතල පහරක් එල්ල වූයේය. මත් කුඩු භාවිතා කරන්නන් නොව ජාවාරම්කාර පාතාලයන් ඉලක්ක කරගෙන දියත් කළ මෙම මෙහෙයුම් ක්‍රියාවලිය තුළ දැඩි මත්කුඩු හිඟයක් රටේ ඇති වූයේය. කුඩු කාරයින් කුඩු නැතිව පිස්සු වැටුනේය. එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි පූජිත් ජයසුන්දර ඇත්තටම හොඳටම වැඩේ කළේය.
කුඩු ජාවාරම් කාරයෙකුගේ සාක්කුවේ සිටි පොලිස්පති
වර්ෂ 2002 දී පොලිස්පති ලෙස පත්වන්නේ ආනන්ද රාජාය. ඔහුගේ වකවානුව වනවිට රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිවරයා ජෝන් අමරතුංගය. පොලිසිය භාර ජෝන්ටය. ජෝන් අමරතුංගගේ ඡන්දදායක බහුතරයක් කසිප්පු ප්‍රජාවය. කසිප්පු ප්‍රජාව බේරා ගැනීම සඳහා වාලනේ මත්ද්‍රව්‍ය මෙහෙයුමෙන් කසිප්පු බේරා ගැනීමට ජෝන් කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා ක්‍රියාත්මක වූ වලානේ තටු කැපුනේය. දූෂණ මර්ධනය විමධ්‍යගත කරමින් සෑම පොලිසියකම දූෂණ මර්ධන ඒකකයක් පිහිටුවනු ලැබුවේය. . ප්‍රතිඵලය වූයේ නියාමනයක් නැති ගමේ පොලිසියේ දූෂණ මර්ධන ඒකකය මර්ධනය කළ යුතු දූෂකයන්ටත් වඩා දූෂිත වීමය.
මේ අතර ක්‍රියාත්මක වෙමින් තිබූ පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කළ මෙහෙයුමකින් අනතුරුව වීඩියෝවක් මාධ්‍යයට ලීක් විය. ඒ වීඩියෝවේ වූයේ පොලිස්පති ආනන්ද රාජා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටියදී ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන්දින සාදයකට සහභාගි වීම සම්බන්ධ වූ සාධකය. මේ හෙළිදරව්ව මත්කුඩු ජාවාරමුන් පොලිස්පත්වරුන් සමගත් සම්බන්ධව කරන ව්‍යාපෘති සම්බන්ධව පළමු සැකය පොලිස් ඉතිහාසයේ ඇති කළේය. පොලිස්පති වරුන් වෙනුවෙන් මරාගෙන මැරෙන පොලිස් ඇමතිලා නොසිටි ඒ කාලයේ වීඩියෝව මාධ්‍යයට ලීක් වුන ආකාරය ගැන හොයා පූජිත් ජයසුන්දර දඬු කඳේ ගසනු වෙනුවට සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ දියත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2003 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා ආනන්ද රාජාට පොලිස්පතිධුරයෙන් විශ්‍රාම ගැනීමට සිදුවුයේ තවත් වසරක් පොලිස් සේවයේ රැදී සිටීමට තිබුණු අවස්ථාවද අහිමි කරගනිමිනි.
චන්ද්‍රිකා රනිල් ආණ්ඩුව 2004 පෙබරවාරි මස 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ බිඳ වැටුණේය. ඒ වනවිට පොලිස්පතිවරයාව සිටියේ ඉන්ද්‍රා ද සිල්වා ය. ඔහු 2003.12.19 වැනි දා සිට 2004.09.30 දක්වා කාලය තුළ පොලිස්පති ධූරය දැරුවේය. චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපතිවරයාව සිටිය නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ ජෝන් අමරතුංග පොලිසිය භාර ඇමතිවරයා යටතේ පොලිස්පති ආනන්ද රාජා විසින් බල රහිත කර තිබූ වලාන දූෂණ මර්ධන ඒකකයට ඉන්ද්‍රා ද සිල්වා පොලිස්පතිවරයා යළි පණ දුන්නේය.
නමක් දුන් පළමු මත්ද්‍රව්‍ය මෙහෙයුම
චන්ද්‍රා ප්‍රනාන්දු 2004 ඔක්තෝම්බර් මස 09 වන දින සිට 2006 ඔක්තෝබර් 11 වැනිදා දක්වා පොලිස්පති ධූරය හොබවන්නේය. ඔහු පත්වන්නේ ලංකාවේ 29 වන පොලිස්පතිවරයා ලෙසය. මෑත ඉතිහාසයේ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුමකට නමක් දී පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් සමග පළමු වරට ආරම්භ වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දුය. ඔහු ඔපරේෂන් ක්ලීනප් නමින් මෙහෙයුමක් ආරම්භ කර එය ඔපරේෂන් ක්ලීනප් 1 සහ 2 ලෙස අදියර දෙකක් ඔස්සේ දියත් කළේය.
මේ මෙහෙයුම ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මතට තිත වැඩසටහනින් ලත් දේශපාලන උත්කර්ෂයත් සමගය.
චන්ද්‍රා ප්‍රනාන්දුගේ ක්ලීනප් ඔපරේෂන් එක තනිකරම පොලිසිවලට ටාර්ගට් දී එකතු කරගත් සංඛ්‍යා මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ලබා ගත් ස්වයං වින්දනයක් වූයේය. කුඩු ජාවාරම් කරුවන්, කසිප්පු ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගනු වෙනුවට කුඩු ගහන, කසිප්පු ගසා පාරේ යන උන් අල්ලාගෙන ඇවිත් පොලිසි පුරවා අත් අඩංගුවට ගත් සංඛ්‍යා උත්කර්ෂයට නැන්වූයේය. මේ සංඛ්‍යා විජ්ජා හරහා සිදුවූ ගුණාත්මක ප්‍රතිඵලයක් නොවුනි. අන්තිමට මතට තිතත් තිතට මත වූයේය.
චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් පසු පොලිස්පති වුයේ වික්ටර් පෙරේරාය. ලංකාවේ 30 වැනි පොලිස්පතිවරයා ලෙස ඔහු 2006 ඔක්තෝබර් 12 වැනිදා සිට 2008 ජුනි 31 දක්වා මෙරට පොලිස්පති ධුරය හෙබවීය. මතට තිත තිතට මත වෙමින් පැවති වකවානුවක ඔහුට මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් සම්බන්ධව ඒ හැටි උනන්දුවක් තිබුණු බවක් නොපෙනිනි.
ඉන් අනතුරුව ජයන්ත වික්‍රමරත්න පොලිස්පති ධූරයට පත් වන්නේ 2008 ජූලි මස 1 වැනිදාය. ඔහු ලංකාවේ 31 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ මේ රටේ තීරණාත්මක යුද්ධය සමයේ දී ය. යුද්දය වෙනුවෙන් ආරක්ෂක අංශවල සමස්ථ ජවය යෙදවී ඇති වකවානුවේදීත් ජයන්ත වික්‍රමරත්න තමන්ගේ බලය ඇති වපසරිය තුළ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා නිශ්චිත මැදිහත්වීමක් කළේය.
මහින්ද බාලසූරියගේ අපූරු මත්ද්‍රවය මැඩලීම
30 අවුරුදු යුද්ධය අවසන් කළ රටේ පොලිස්පතිවරයා වූයේ කුප්‍රකට ඉතිහාසයක් සහිත පොලිස්පතිවරයෙක් වූ මහින්ද බාලසූරිය ය. ඔහු 2009. නොවැම්බර් 03 වැනිදා සිට 2011 ජූනි 17 දක්වා පොලිස්පති ධූරය හෙබවූයේය. මේ රටේ කුඩු ජාවාරම් කාරයින්ගේ පාර්ශවයක් නියෝජනය කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ බවට පසු කාලයේ දී සාධක සහිතව ඔප්පු වූ පොලිස්පතිවරයා වූයේ මහින්ද බාලසූරිය ය.
මහින්ද බාලසූරිය කුඩු ඇල්ලුවේය. ඒ සඳහා ඔහුට ඕනෑතරම් බුද්ධි තොරතුරු ද තිබුනේය. මේ අල්ලපු ඇල්ලිල්ලේ ඇත්ත තත්ත්වය හෙළිවන්නේ දෙමටගොඩ ප්‍රදේශයේ කුප්‍රකට කුඩු ජාවාරම් කරුවෙකුගේ මත්කුඩු තොගයක් මහින්ද බාලසූරිය පොලිස්පතිවරයාගේ මැදිහත් වීමෙන් කේරල ගංජා බවට පත්වීමේ සිද්ධියක් අනාවරණය වීමත් සමගය.
ඒ සිද්ධිය මෙසේය. දෙමටගොඩ ප්‍රදේශයේ දී දෙමටගොඩ චමින්දගේ යැයි තොරතුරු ලැබුණු මත්කුඩු සහිත වෑන් රථයක් පොලිස් අත් අඩංගුවට පත් විය. ඒ වනවිට චමින්දලා බොහොම සැරේට එවකට හිටිය දේශපාලනය සමග බද්ධ වී සිටියේය. අත් අඩංගුවට ගත් වෑන් රථයට චමින්දලාගේ සම්බන්ධය හෙළිවීමත් සමග පොලිස්පති මහින්ද බාලසූරිය මහ රෑ පැමිණ පොත් පත් පරිශීලනය කරමින් බොහෝ ආශ්චර්යයක් කළ බවත් ඉන් පසු කුඩු කේරළ ගංජා වූ බවත් පොලිසියේ අභ්‍යන්තර තොරතුරුම අනාවරණය කළේය. චමින්දලාගේ කුඩු පමණක් නොව, වෙලේ සුදාගේ කුඩුවලටත් මහින්ද බාලසූරියගේ විශේෂ අනුකම්පාවක් තිබුණු බව පොලිසියම පසු කලෙක කීවේය.
විශ්‍රාම ගිය මහින්ද බාලසූරිය නවතින්නේ බ්‍රසීල තානාපති ලෙසය. අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස ඔහු පත් වුනේය. ඒ කාලයේ වෙලේ සුදා හිටියේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය. ඔහු බොහෝ අවස්ථාවල තානාපති කාර්යාලයේ ගත කළ බවට තොරතුරු ලැබිණි. තානාපතිගෙන් වැඩක් කරගැනීමට ඒ කාලයේ UAE සිටි අපේ ඇත්තන් ඇල්ලුවේ වෙලේ සුදාවය.
දැන් මහින්ද බාලසූරිය ජිවතුන් අතර නැත. ඒත් මේ මත්කුඩු ජාවාරම් ප්‍රබලයින් නිරුපද්‍රිතය. වැඩ කරන විරුවා ලෙස 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එද්දී ඔහුගේ ප්‍රධාන කාර්යාලය සඳහා නොමිලයේ කාර්යාල පරිශ්‍රය සපයා තිබුණේ දෙමටගොඩ චමින්ද බව කියැවිනි.
දැන් ගෝඨාට ජනාධිපතිකමත් නැත. මහින්දට අගමැතිකමත් නැත. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාලව දෙමටගොඩ චමින්දත් ඇතුළේය.
පුදුමය නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව චමින්දලාට එරෙහිව නීතිය ක්‍රියාත්මවීමට යන්නේය. නවතින්නේය. චමින්දත් ඔහුගේ සොයුරු රුවනුත් ටොන් එකක් කුඩු මේ රටට ගෙනා බව පොලිස් ආරංචි මාර්ගම කියන්නේය. යළිත් නිහඬ වන්නේය. බිලියන ගණන් වූ අතාර්කික දේපල ගැන කියන්නේය. රාජසන්තක කරන බව පවසන්නේය. එහෙත් රාජසන්තක නොවන්නේය. චමින්දලාගේ පවුල්වල තරුණ දරුවන් දේශපාලන තරුණ මණ්ඩල මෙහෙයවන්නේය. පසුගිය පළාත් පාලන මැතිවරණය තිබුණා නම් බොහෝ විට මැද කොළඹට එන්න සිටි එක් මන්ත්‍රීවරයෙක් එන්නේ චමින්දලාගේ පවුලෙනි.
චමින්දලා පමණක් නොව සිද්දික්ලාගේ ඥාතීනුත් දේශපාලන කරලියේය. ඔවුන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධූරයක් ගැනීම සඳහා කරන වියදම මවිතකරවන සුළු බව පසුගිය වකවානුවේ පොලිස් බුද්ධි අංශම කීවේය. අප මේ කීවේ වැඩබලන පොලිස්පතිවරයාට කුඩු පාතාලය මර්ධනය කිරීම ආරම්භ කළ හැකි තැන් ඕනෑ තරම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන්ම ලබා ගත හැකි බවට වූ අපේ අදහස කියන්නට ය. එය මේ අපේ ගොබ්බකමට කියන වෙනම කතාවක් බැවින් වගකිවයුත්තන්ගේ අවධානයට කොහෙත්ම ලක්විය යුතු නැත.
ඉලංගකෝන්ගේ වික්‍රමය සහ පුස් පූජිත්
මහින්ද බාලසූරිය 2011 ජූනි මස 17 වැනිදා පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යන මහින්ද බාලසූරියගෙන් පසු පොලිස්පති ධූරය දරන්නේ මේ රටේ කීර්තිමත් පොලිස්පතිවරයෙක් ලෙස සම්භාවනාවට ලක්වන එන්.කේ ඉලංගකෝන්ය. ඔහු ඉතාම ක්‍රමවත්ව නිහඬව මත්ද්‍රව්‍යයට එරෙහි වැට බැඳීමට මෙහෙයුම් දියත් කළේය. පොලිස්පති ලෙස ඔහු නිලධාරින් මෙහෙයවනු ලැබුවේ අනවශ්‍ය ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන උන් කූඩු කිරීමේ ගොංකම නොකර හඳුනාගත් කුඩු ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන මෙහෙයුම් දියත් කිරීමටය. කුඩු කිලෝ සිය ගණන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් වන්නේ ඒ වකවානුවේය.
එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය යළි බලගන්වා දීප ව්‍යාප්ත මෙහෙයුම් ඔහු විසින් ආරම්භ කළේය. ඒ වලාන පණ ගැසූ අවසන් වකවානුවය. ඉන් අනතුරුව වාලන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය දියවෙමින් ගියේය. එය අද පවතින්නේ අතීත ප්‍රසාදය සහිතව දිවෙන තවත් එක් ආයතනයක් ලෙස පමණය. 2016 අප්‍රේල් මස 12 වැනි දින ඔහු සේවයෙන් විශ්‍රාම යන්නේ මෑත වකවානුවේ දී නම කෙළෙසා නොගත් වැදගත් වෘත්තිකයෙක් ලෙසය.
අනතුරුව පොලිස්පති ධූරයට පත්වන පූජිත් ජයසුන්දර 2016 අප්‍රේල් මස 20 වැනි දින ධූරයේ වැඩ භාරගන්නා විට ඔහු සම්බන්ධව බලාපොරොත්තුවක් ජනතාව තුළත් තිබිණි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් පොලිස්පතිවරයෙක්වත් ගෙදර යැවූ වීරයෙක් ලෙස මිනිස්සු ඔහු ගැන කල්පනා කළහ. රට හිතුවේ දැන් හරි පූජිත් වැඩේ කරයි කියාය.
එහෙත් පූජිත් වැඩේ කළ හැටි පෙනුනේ පාස්කු ප්‍රහාරයෙනි. සද්දය විතරක් ඇති හිස් ටකයක් බඳු ෂෝ කාරයෙකුගේ ස්වරූපය රටට පෙනෙන විට පාස්කු දින බෝම්බ ප්‍රහාර නිසා 250 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා සිටියහ. මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලැබුණු අවස්ථාවක එක්වරම මෙහෙයුම් සූදානම් කර එක් රැයක් තුළ තොරතුරු වාර්තා කරන ලෙස පෙළ ගැස්වූ ඔහුගේ මෙහෙයුම් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු ලැබී තිබියදීත් දියත් වූයේ නැත. එසේ දියත් වූවානම් පූජිත්ට හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේවත්, පොලිස්පති ධූරය මග දමා යන්නට සිද්ධවන්නේවත්, සිය ගණනකට ජීවිත අහිමි කරමින් පවුල් ගණනක් බිඳ දමා සුන් කරමින් රට තුළ සදාකාලික කම්පනයක් ඉතිරි කරමින් පාස්කු ප්‍රහාරය සිද්ධවන්නේවත් නැත.
පසුගිය 2020 මාර්තු 14 වැනිදා පූජිත් ජයසුන්දරට පොලිස්පති ධූරය හැරයන්නට සිදුවූ පසු පසුගිය මස 23 වැනිදා වනතෙක් පොලිස්පති ධූරය දැරූ ඩී.සී. වික්‍රමරත්න ගුණත් නැති අගුණත් නැති චරිතයක් රූපණය කළේය. ඔහු පොලිස්පති ලෙස සිදුකළේ පරිපාලනය පමණක් බව පෙනුණි. ඔහු යටතේ ඇති අංශ වෙත වගකීම් පවරා එම වගකීම් අධීක්ෂණය කිරීමේ කටයුත්ත කළ ඩී.සී.වික්‍රමරත්න පොලිස්පතිවරයා යටතේ මත්ද්‍රව්‍ය උවදුරු මැඩ පැවැත්වීමට නිශ්චිත කෙළවරක් සහිත වැඩපිළිවෙළක් දියත් වූයේ නැත. ආයුධ පෙන්වන්නට ගොස් ඉලක්කගත අපරාධකරුවන් පිරිසක් මිය ගියේය. මාකඳුරේ මධුෂ්, මරා දමන විට ඔහු සමග ඩුබායි සිට කුදලාගෙන පැමිණි කංජිපානි ඉම්රාන් තමන්ට ඇප ලැබුණු දිනට පසුදා රටින් පැන්නේය. පොලිස් අත් අඩංගුවේ දී අපරාධකරුවන් ගණනාවක් මිය ගියේය. තවත් අය රටින් පැන්නේය. පැන්න උන් විදේශයන්හි සිට සිය ජවාරම් මෙහෙයවමින් ඇත්තේය. නිශ්චිත සැලසුමකින් තොරව සිදුවන කරන්නන් වාලේ කිරීමක් මිස මත්කුඩු ජාලය මර්ධනය කිරීම සඳහා ඔහු තුළ කැපවීමක් නොවුන බව පෙනුනේය.
දේශබන්දු සතු වගකීම
වැඩ බැලීම සඳහා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට මාස තුනක් සඳහා පත් කරන්නේ ඉන් අනතුරුවය. 2023
නොවැම්බර් 29 දා සිට වැඩබලන පොලිස්පති පොලිස් ඇමතිගේ උත්කර්ෂවත් මැදිහත්වීමත් සමග මෑත ඉතිහාසයේ දෙවැනි වරට නම් කළ මෙහෙයුමක් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දියත් කර ඇත්තේය. මෙයෙහුමේ නම යුක්තිය ය.
යුක්තිය මෙහෙයුම පටන් ගන්නේ දින වකවානු නියම කරමිනි. වැඩ අරඹන්නේ නැකතටය. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පවසන්නේ ලබන වසරේ ජුනි 30 වනවිට රටේ මත් උවදුර සම්බන්ධව සැලකිය යුතු වෙනසක් ඇතිකරන බවය. සොයාගෙන ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විනාශ කරන බව ඔහු කීවේය. ඊට කලින් ජාවාරම්වලින් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට දැනුම් දුන්නේය.
එය මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කරන ඉලක්කයක් බව කිව යුතුය. දැන් රට බලා ඉන්නේ ඒ ඉලක්කය වෙත යන සැලසුම දෙසය. කුඩු ගහන උන් අල්ලාගෙන ඇවිත් මේ වැඩේ ඉවර කරන්නට හිතනවා නම් අඩුම තරමින් ලක්ෂ දෙක්ක අල්ලා කූඩු කර උන්ට කන්න බොන්න දී බලා ගැනීමේ අභියෝගය පොලිසියට තිබේ. කුඩු ජාවාරම්කරුවන්ගෙන් මේ වැඩේ පටන් ගන්නවා නම් රටේ කුඩු ජාලයේ ඉහළ පෙළේ හැසිරීම සම්බන්ධ මූලික තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක බුද්ධි අංශ සතුව තිබේ. ගමේ කුඩු විකුණන එකාගේ තොරතුරු ගමේ පොලිසියේ ඕ.අයි.සී ලඟ තිබේ.
අප දන්නා එක දෙයක් ඇත. නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක කිරීමේ මහත් වූ අභිලාෂයෙන් පසුවන නිලධාරීන් පිරිසක් පොලිසිය තුළ සිටින බවය. මොනතරම් පිස්සු කෙළියත් මේ ආයතනය මේ තරමින් හෝ ආරක්ෂා වී ඇත්තේ ඒ නිලධාරීන් අතලොස්ස නිසාය.
අවශ්‍ය වන්නේ සුදුසු ප්‍රධානියෙක් සහ නිලධාරීන් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය දී, එම නිලධාරීන්ට බාහිර බලපෑම් වලින් රැකවරණය ලබා දිය හැකි පෞරුෂවත් පොලිස්පතිවරයෙක් සහ ආරක්ෂක ඇමතිවරයෙක් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය නිර්මාණය කර ලබා දුන් ආදර්ශයෙන් පැහැදිලිව ඇත. මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අවශ්‍ය නම් සිදුවිය යුත්තේ අහවල් එක තියාගේන අහවල් දෙකෙන් කෙළින්නට නොයෑම පමණි.
ඉන් එපිට සිදුවන මාධ්‍ය වික්‍රමයන් නම් මේ රටට අප්‍රසන්න බව කිව යුතුව තිබේ. චූටි චූටි කෑලි දවස පුරා එවමින් චරිත පුම්බන ක්‍රමය දැන් යල් පැන ඇති බව කවරෙකුගේ හෝ මාධ්‍ය මෙහෙයුමක් බාරගෙන සිටිනවා නම් ඒ පසුපස ඉන්නා සහෝදරවරුනුත් තේරුම් ගත යුතුය. එබැවින් තම ව්‍යාපෘතිය සඳහා නිර්මාණාත්මක අලුත් ක්‍රමයක් තෝරා ගැනීමේ වගකීම දැන් ඔවුන් සතුව ඇත.
අප ඉතිහාසය පුරාම කළේ බලයට, තනතුරුවලට ඇති නොසන්සිඳෙන ගිජුකම වසාගෙන එහි ජුගුප්සාව ආවරණය කරගැනීමට සංකල්ප කොමිටල් කිරීමය. ආසියාවේ ආශ්චර්ය කොමිටල් වූයේ රට බංකොලොත් වීමෙනි. යහපාලන සංකල්පය තොරොම්බල් කර බලයට පැමිණ මාස දෙකක් යන්නට පෙර මහ බැංකුව කැඩුවේය. කොමිටල් වුනේ “යපාලනය” නැමැති මහා සංකල්පය ය. වැඩ කරන විරුවා වැඩ බැරි ගොබ්බයෙක් වී රටින් පැන ගියේය. “ඔබට රටක් රටට හෙටක් “ කීවේය. රටටත් අපටත් හෙටක් නැති වුනේය.
අප එවැනි අත්දැකීම් සහිත ජාතියකි. එබැවින් මත්ද්‍රව්‍ය මඩින මෙහෙයුම් නම් කර දින වකවානු ප්‍රකාශ කර කරන්නට යෑමේ අවදානම මේ ඉතිහාසගත අත්දැකීම් සමග සසඳනවිට බිය උපදවන්නේය. වඩාත් බය හිතෙන්නේ වැඩබලන පොලිස්පතිවරයාගේ මත්ද්‍රව්‍ය සහ පාතාල මර්ධන මෙහෙයුමේ නම “යුක්තිය” වීමය
බය හිතෙන්නේ “යුක්තිය” කොමිටල් වුවහොත් නිර්මාණය වනු ඇත්තේ කොමිටලයක් නොව ජාතියක මළගෙයක් නිසාය.