කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූයේත්, දැනට පවතින ආර්ථික ව්‍යසනයෙන් ද වැඩිම පීඩාවකට ලක්ව සිටින්නෙත් දරුවන්ය.
සාමන්‍ය දරුවකු එසේ පීඩාවට පත්වෙද්දී ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා දෙගුණ තෙගුණයකින් පීඩාවට පත්වේ. නමුත් මේ දරුවන් පිළිබඳව දක්වන සැලකිල්ල අඩුය.
වර්තමානය වන විට ලංකාවේ පාසල් දහ දහස් එකසිය හැට පහක් පමණ ඇති අතර ලක්ෂ 46 ක් පමණ දරුවෝ අධ්‍යාපනය ලබති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ළමා ජනගහනයෙන් සියයට 7.5 ත් 15 අතර ළමුන් පිරිසක් ආබාධ සහිත දරුවන් බව කියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත වලට අනුව පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල දරුවන් හත්දාහස් පන්සියයකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය හෙට්ටිආරච්චි කියයි.
” ලංකාවේ රජයේ අනුග්‍රහය යටතේ පාලනය වන විශේෂ පාසල් විසිහයක් තියෙනවා ඒවායේ දරුවන් දෙදහස් හයසියයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා. මෙසේ දත්ත තිබුණත් මීට වැඩි අබාධිත සහිත දරු පිරිසක් අපේ පද්ධතිය තුල සිටිනවා. මහාචාර්ය හේමාලි පෙරේරා විසින් සිදුකරන සමීක්ෂණයකට අනුව ඇය කියනවා සෑම වසරකම පළමු ශ්‍රේණියට ඔටිසම් සහිත දරුවන් හාරදහසක් පමණ වාර්ෂිකව පාසල් පද්ධතියට ඇතුල් වෙනවා කියලා.“
“ඒ වගේම තමන් තුළ පවතින සුවිශේෂී ගැටලුවක් හේතුවෙන් ඉගෙනීම නොලැබෙන දරුවන් සියයට 20.5ක් පමණ මෙම පාසැල් පද්ධතිය සිටින බව මහාචාර්ය සමන්මලී සුමනසේන පරීක්ෂණයකින් හෙළි කරලා තියෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ කියනවාට වඩා අබාධ සහිත දරුවන් පිරිසක් මේ පාසැල් පද්ධතියේ සිටින බවයි.“
“නමුත් මේ දරුවන් හඳුනා නොගෙන ම පාසල් පද්ධතියෙන් එළියට යනවා. මොවුන් අතර බොහෝ බුද්ධිමත් දරුවන් සිටින්නට පුළුවන්.”
ගෙවී ගියේ ගිය කාලයේ වැඩි දිනයක් තිබුණෙ පාසැල් වරින් වර වසමිනි. එයට කොරෝනා වසංගතය මෙන්න පවතින ආර්ථික තත්ත්වය ද බලපෑවේය. මේ කාලය තුළ අධ්‍යාපනය කටයුතු සිදු වූයේ මාර්ගගත ක්‍රමවේදය යටතේයි. නමුත් විවිධ හේතු කාරණා මත බොහෝ දරුවන් පිරිසකට මාර්ගගත ක්‍රමවේදයෙන් අධ්‍යාපනය ලැබීම අහිමිව ගියේය. ඇතැම් දරුවන්ට පහසුකම් පැවතියද එම ක්‍රමවේදයට අනුගත වීමට නොහැකි විය. සාමාන්‍ය දරුවෙකුට එසේ වූවා නම් ආබාධ සහිත දරුවෙකුට කෙසේ වන්නට ඇතිද.
“අපේ පාසැල් පද්ධතිය පසුගිය කාලයේ වරින් වර වැසුවා . එක් දිනක් පාසල් වැසීමෙන් ඉගෙනුම් පැය මිලියන 25 ක් අහිමි වෙනවා. ගුරුවරුන්ට ඉගැන්වීමේ පැය මිලියන 14 ක් අහිමි වෙනවා. දරුවෙකුට පසුගියකාලේ ඉගෙනුම් පැය කොතරම් අහිමි වන්නට ඇතිද. සාමාන්‍ය දරුවකුටත් එසේ බලපෑම් එල්ල වුනේ නම් ආබාධ සහිත දරුවෙකුට කොතරම් බලපෑම් එල්ල වන්නට ඇතිද?“.
“ ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ දරුවගේ ළඟම සිටයි .මේ දරුවන්ට මෙවලම් භාවිතා කරලා අධ්‍යාපනය ලැබීමේ ක්‍රමවේදය හුරුව තිබුණේ නෑ. පසුගිය කාලේ ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. සාමාන්‍ය දරුවන්ටත් එය සිදු වුණා. ලංකාවේ දරුවන්ගෙන් සියයට 41 කට පමණයි පසුගිය කාලේ අන්තර් අන්තර්ජාල පහසුකම් තිබුණේ. සියයට 16 පමණ දරුවෝ අමාරුවෙන් අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබෙනවා. ඔවුන් ගස් උඩ නැගලා වහල උඩ නැගල තමයි ඒ පහසුකම ලබාගෙන තිබුණේ.“
“සියයට 42 ක් දරුවන්ට ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් තිබී නැහැ.මේ තොරතුරු හෙළි වුණේ යුනිස්කෝ සංවිධානය සමඟ කරපු සමීක්ෂණයකින්. ඒ වාගේම දෙමාපියන්ගේ ආර්ථික තත්වය දෙමාපිය දැනුවත්භාවය මෙයට බලපාල තියෙනවා. පසුගිය කාලේ තත්වය මෙයයි.”
සාමාන්‍ය දරුවන්ගේ අධ්‍යාපන එසේ අඩාල වෙද්දී අබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය දෙගුණ තෙගුණයකින් අඩාල වුවේය. දැන් තිබෙන්නේ සියලු පාර්ශව එකතුවී මේ ගර්හිත තත්තවයෙන් ඔවුන්ව නගා සිටුවීම පමණි.