කීර්ති ප්‍රනාන්දු –
ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ඉන්නේ ඈත වන්නියේ ය. ඒ ඇත්තන් සිය රැහේ සම්ප්‍රදාය රැක ගැනීමට වෙනස්වෙන සමාජයත් සමග මහා අරගලයකය. රටේ සංස්කෘතික නායකයෙක් වූ වන්නිලා ඇත්තන් මෙතෙක් මේ සමාජයේ සිදුවූ බොහෝ සමාජ සංස්කෘතික වෙනස්කම්, හැල හැප්පීම් අත්දුටුවෙකි. ඔහු ඒ අත්දැකීම් ගත්තේ නිහඬවය. දැවැන්ත වසංගයක් කෙළවර රට තුළ දැන් ඇති වී තිබෙන වියවුල දඹානට පෙනෙනු ඇත්තේ කෙසේ ද?. ආදිවාසී සංස්කෘතික නායකයෙක් එය තේරුම් ගනු ඇත්තේ කෙසේ ද?. ලංකසර අපි වන්නිලා ඇත්තන් විමසීමු.
මේ අප ඇසූ කෙටි ප්‍රශ්නාවලියට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් දුන් පිළිතුරුය.
-
එක රටක් එක නීතියක් පිහිටුවන්න කොමිටි දාන්න සිද්ධ වුනේ එහෙම දෙයක් මේ රටේ නොතිබුනු නිසානෙ… දැන් ඒ කොමිටියත් ප්‍රශ්නයක් වෙලා නෙ… එකම නීතියක් හැමෝටම තියන රටක ජීවත් වෙන්න හැම මිනිහෙකුටම අයිතියක් තියනවා. ඒ නිසාම එය වචනවලට සීමා නොවිය යුතුයි…
-
අපි පෙරවාරි 04 දා නිදහස සමරන්නෙ එක රටකින් නිදහස් වීම සරමන්න. අනාගතයේ අප නිදහස සමරනවා නම් රටවල් ගොඩකින් නිදහස් වීම සමරන්න වේවි…
මේ වෙලාවෙ මේ රටේ මිනිස්සුන්ව ඔබට පෙනෙන්නෙ කොහොම ද?
මිනිස්සුන්ට හැමදාම හැම කාලකෙම ගැටලු තිබුණා. ඔවුන් මේ සියල්ල ගැන කළකිරිලා හිටියේ. ඔවුන්ට අවශ්‍ය වුනේ අවංක මෙන්ම නිර්භීත පාලනයක්. අභිමානයක්. ඒ විශ්වාසයෙන් තමයි ලක්ෂ 69ක ජනතාව ඡන්දය දීලා නායකයෙක්ව පත් කරගත්තේ.
ඒ විශ්වාසය නැතිවෙනකොට මිනිස්සු කලකිරෙනවා. ඔවුන්ට වඩා දැඩිව අප්‍රසන්න වෙනවා. ඒ තත්වය අපි දැන් රට පුරාම දකිනවා.
ඒත් මේ රජය කටයුතු කළේ ලෝකයම අඩපණ කළ ලොකු වසංගතයක් එක්ක?
ඔව්… අපි ලෝක වසංගතයකට ගොදුරු වුණා. මාත් ඒ වසංගතයේ වින්දිතයෙක්. ඔබ එය දන්නවා. මා ඇතුළු මුලු ජනතාවම ඒ වසංගතය නිසා පීඩාවට පත් වුණා. රජයත් අපහසුතාවයට පත් වුණා. අප ඒ ගැන සාධාරණව කල්පනා කළ යුතුයි.
ඒත් වසංගතයකින් පීඩාවට පත් වුණු මිනිස්සු නැවත වරක් ආණ්ඩුවක තීන්දු තීරණ නිසා පීඩාවට පත් වෙනවා නම් එතන ගැටලුවක් තියනවා.
ඔබ කියන්නෙ මොන විදිහෙ පීඩාවක් ගැන ද?
අපේ රට විශාල විදිහට රඳා පවතින්නෙ ගොවිතැන මත. ගොවියො මත. ගොවියන්ට ගොවිතැනට වුමනා කරන පොහොර නැති වුණා. කොරෝනාවලින් අසරණ වුණු මිනිස්සුන්ට ජීවත් වෙන්න තියන ජීවනෝපායත් නැති වුනා.
මේ වගේ හේතු නිසා රටේ නායකත්වය සම්බන්ධව මිනිස්සු ලඟ තිබුණු විශ්වාසය හොඳටෝම පලුදු වෙනවා. මිනිස්සු දැන් ඉන්නේ හිතාගන්නවත් බැරි තරම් බිඳ වැටිලා.
ඔබත් ලෝකය පිළිගත් නායකයෙක්. ඔබ නායකයෙක් විදිහට මේ ගැටලුව දකිනෙ කොහොම ද?
නායකයෙක් විදිහට හැම දේටම වැඩිය මිනිසුන්ගෙ ජීවිත ගැන බලන්න ඕන. මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න ඉඩ හදන්න ඕන. අපි මිනිස්සුන්ගේ ජීවිතවලට මීට වඩා ලංවෙලා බලන්න උවමනායි. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම ආණ්ඩුවක මූලික වගකීමක්.
මේ වනවිට රජය තුළ ඇති වී තිබෙන ප්‍රශ්නය ඔබට පෙනෙන්නෙ කොහොම ද?
මා දේශපාලකයෙක් නෙමෙයි. සම්ප්‍රදායක් රකින ඒ සම්ප්‍රදායෙ පැවැත්ම වෙනුවෙන් කැපවුන කෙනෙක්. ඒත් මේ රටේ වැසියෙක් විදිහට මට මේ සිදුවීම් ගැන බයක් තියනවා.
ආණ්ඩුවෙම ඉන්න අය ආණ්ඩුවේ වැඩසටහනකට විරුද්ධ වෙනවා. ඒ අය එළියට ඇවිත් යම් කරුණු සාකච්ඡා කරනවා. කාටත් නොදන්වා රෑ ජාමෙ අත්සන් කළ ගිවිසුම් ගැන ඔවුන් කියනවා. එහෙම කියන්නේ ආණ්ඩුවෙම කැබිනට් ඇමතිවරු.
රටේ අනාගතයට බලපාන වැරදි තීන්දුවක් පාලකයින් ගන්න වග පෙනෙනවා. එය ඔවුන්ට අයිති දෙයක් නොවෙයි. ඔවුන් පත්වෙන්නෙ කෙටි කාලයකට. ඔවුන්ගෙ වගකීම අනාගතය බාරගන්න ඉන්න පිරිස ශක්තිමත් කිරීම.
එහෙත් අපට දවසින් දවස එක් එක් රටවලට යටත් වෙන්න සිද්ධ වෙලා තියනවා. පෙබරවාරි 04 වැනිදා අප සමරන්නේ එක් රටකින් නිදහස් වීම. අනාගතයේ දී අපට රටවල් රැසකින් නිදහස් වෙන දවසක් සොයාගන්න වේවි නිදහස සමරන්න.
දැන් එක රටක් එක නීතියක් ගැන කතා කරනවා. ඔබට එය විශ්වාස ද?
එකම රටක්. එකම නීතියක්. ඒක හරිම අපූරු දෙයක්. ඒ වගේ සමාජයක ජීවත් වෙන්න අපට අයිතියක් තියනවා. එක රටක් රක නීතියක් ගැන කතාවක් අපට කියන්න සිද්ධ වෙන්නෙම එහෙම දෙයක් නොතිබුණු නිසානෙ. බලය තියන සල්ලි තියන මිනිස්සුන්ට වඩා වෙනස් විදිහටනේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුවන ඔබට සහ මට නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසානෙ එක රටක් එක නීතියක් කියලා අපට කොමිටි පත් කරන්න සිද්ධ වුනේ.
මේ කොමිටිවලින් උනත් එකම රටක් එකම නීතියක් ඇතිවෙයි ද කියන්න බෑ. බලන්න දැන් මේ නිසා ඇති වෙලා තියන අලුත් කසුකුසුව. එය අලුත් ප්‍රශ්නයක් වගේ පෙනෙන්නෙ. ඉදිරියේ දි නැවත වරක් ආගමික වාර්ගික ගැටුමක් ඇතිවෙන ලකුණු පෙනෙන්න තියනවා. ඒ නිසාම එක රටක එක නීතියක් හරියට ක්‍රියාත්මක වීම වැදගත්.
.