දස වදයට ලක් කළ ඇතෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ. හෙණ්ඩුවෙන් ඇණ බිම පෙරළා වධයට ලක් කරන මේ ඇතා ගැන හඳුන්වා දීමේදී කියැවුනේ මේ බෙල්ලන්විල පන්සලේ ඇතා බවය.
එම වීඩියෝව පහතින් දැක්වේ.
බෙල්ලන්විල පන්සලේ සිටි ඇත් පැටවා මියන් කුමාරය. මියන් කුමාරට ඒ නම තබන්නේත් බෙල්ලන්විල නා හිමියන්ය. මියන්මාරයේ යැන්ගුන් නුවරින් මෙම ඇත් පැටවා තෝරා ගන්නේත් නායක හිමියන්ගේ මැදිහත් වීමෙනි. ඇත් පැටවා ලංකාවට රැගෙන එන්නේ වර්ෂ 2013 ජූලි 04 වැනිදා ගුවන් මගිනි.
එදා සිට නා හිමියන් දකිමින් උස් මහත් වුණු මියන් කුමාර ඇත් පැටවාගේ පහර කෑමට බෙල්ලන්විල නා හිමියන් ලක් වන්නේ වර්ෂ 2018 පෙබරවාරි 02 දා සිකුරාදාය. පසුදා, එනම් 2018 පෙබරවාරි 03 දා සිකුරාදා උන්වහන්සේ අපවත් වූහ
මේ ඇත්පැටවා ගැන මතකය ටික ටික ජන සමාජයෙන් ඈත් වුවත් මෑතක දී යළිත් කරළියට එන්නේ වදයට ලක් කරන ඇතෙකුගේ වීඩියෝවත් සමගිනි. ඒ වීඩියෝවේ කියැවෙන්නේ වදයට ලක්වෙමින් ඇත්තේ බෙල්ලන්විල පන්සලේ සිටි මියන් කුමාර හස්ථියා බවය. නා හිමියන් ඝාතනය කිරීම නිසා ඇති වූ වෛරය පිරිමසා ගැනීමට මේ තිරිසන් සත්ත්වයාට වද දෙන බව ඒ විඩියෝ සංස්කරණයේ ප්‍රකාශ විය.
ඇත්තටම සිදුවූයේ කුමක් ද?. ලංකාසර අපි මුලින්ම විමසුවේ මේ අපරාධය සඳහා දැනට සමාජය විසින් චූදිත කර ඇති බෙල්ලන්විල පන්සලේ පරිපාලන අංශය ය.
බෙල්ලන්විල විහාරස්ථාන ලේකම් ධුරයේ කටයුතු කරන්නේ ලසන්ත දර්ශන රත්නායකය. ඔහු අපට මෙසේ කීවේය.
බෙල්ලන්විල විහාරස්ථානයේ ෂෙයා වෙන වීඩියෝව කලකට ඉහතදීත් මේ ලෙසම අන්තර්ජාලයෙ හුවමාරු වුණා. මේකෙ ඉන්නෙ අපේ ඇතා නෙමෙයි. මෙහෙම සතෙකුට වද දීම මොනම පදනමකින්වත් අනුමත කරන්නෙ කොහොම ද?. අපිත් මේ හිංසනය හෙළා දකිනවා…
මේක විහාරස්ථානයක්. මේ තරම් අමානුෂික විදිහට සතෙකුට හිංසා කරනවා නම් අපට මේ පන්සල මේ විදිහට පවත්වාගන්න වෙන්නෙ නෑ. අපි ඒ තරම් අමානුෂික නම් මිනිස්සුම විරුද්ධ වෙලා අපිව මෙතනින් ඉවත් කරයි.
බෙල්ලන්විල විහාරවාසී බෙල්ලන්විල සංඝරතන හිමියන් මේ සම්බන්ධව අපට දැක්වූයේ මෙවැනි අදහසකි.
“ මේක අතිශය අශිෂ්ට අපරාධයක්. මේ රූප රාමුවල ඒ අපරාධයට ලක් වෙන්නෙ අපේ ඇතා නොවෙයි. අදාල සිද්ධිය සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් නායක හාමදුරුවො ඉදිරියෙදි කරයි. මේ මිනිස්සුන්ගෙ මනස වෙනත් පැත්තකට හරවන්න සකස් කරන ලද ව්‍යාජ වීඩියෝවලින් කරන හානිය ඉතාම බරපතලයි.
හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරණාරත්නය. අපි දම්සිරි කරුණාරත්න විමසුවෙමු. ඔහු කීවේ මෙවැනි කතාවකි.
“ඊයේ සහ අද දිනයේ හැම විනාඩි පහකට සැරයක්ම කවුරු හරි කතා කරලා අලියට හිංසා කරන අන්තර්ජාලයේ හුවමාරුවන වීඩියෝව ගැන මගෙන් විමසනවා.“
“මිනිස්සු සංවේදීවන කාරණාවක් මතුවෙලා. ඇතැමුන් ඇතැම්විට තෘප්තියක් ලබා ගන්නෙ එය ආර්ථිකමය වාසියකටත් පෙරළා ගනිමින්. මේ එවැනි දෙයක් වෙන්න පුලුවන්. මොකද ඇත්තුන්ට හිංසා කරන වීඩියෝ දර්ශන අලුත් අවුරුදු කාලයත් පෙරහර කාලයත්, එහෙමත් නැතිනම් වෙන උත්සව කාලයක් ලං වෙනකොට ප්‍රචාරය වීම සාමාන්‍ය සංසිද්ධියක්…“
“මේ හරහා මිනිසුන්ගෙ හිතේ විහාරස්ථානයේ පිරිස් පිලිබඳ වෛරී හැඟීම් ඇති කරලා තියනවා. ඇතාගෙ ප්‍රහාරයෙන් නායක හාමුදුරුවො මිය ගිය නිසා ඊට පලිගැනීමක් විදිහට ඇතාට හිංසා කරන බවක් තමයි අඟවන්න උත්සාහ කරලා තියෙන්නේ.“
“අලි ඇතුන් සමග ගනුදෙනුවේ දී හැම වෙලාවෙම මිනිස්සු වන අපි බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. උදාහරණ විදිහට මෙහෙම කියන්න කැමතියි. “
“නිරංජන් විජේරත්න දියවඩන නිලමේ වරයාගේ කාලයේ ඉන්දියාවෙන් කාවේරි රාජා ගෙනාවා. ඉන්දියාවේදි උදෑසන ඒ අලි පැටියට ධාන්‍ය ගුලි 10ක් දුන්න පුරුද්ද දිගටම පවත්වාගෙන යන්න දියවඩන නිලමේ වරයා එයාගෙ ගෙදර මුළුතැන්ගේ ලඟම තියාගෙන හැමදාම උදේට ධාන්‍ය ගුලි දහය එයා අතින්ම දුන්නා.“
“දවසක් හිටි හැටියේ ඇත් පැටියා ධාන්‍ය ගුලියක් ගන්න අතරෙ කරපු කලබලයකින් නිලමෙ ගෙ මූණෙ දළේ ඇනුනා. සුව වෙන්නතත් කාලයක් ගියා. පසුව ඉන්දියාවට කතා කරලා හේතු හොයලා බැලුවා ඇයි කියලා. පසුබිම ඇහුවාම ඒ අය කියලා තිබුණා මේ ඇත් පැටියා පූසන්ට බයයි කියලා. “
“නිලමෙ ධාන්‍ය දෙන වෙලාවෙ ගෙදර පූසා ඒ ලඟට ඇවිත්. හැම සිද්ධියක්ම පිටිපස්සේ ඔයවගේ හේතුවක් තියනවා. ඒ නිසා ඒ මොකක්ද කියලා හොයලා බලන්නෙ නැතිව පලිගන්න හෝ තරහා ගන්න හෝ ඔවැනි කටයුත්තක් සිදුකරන්න හෝ තරම් මේ මිනිස්සු පහත් තත්වයට වැටිලා නෑ කියලා කියන්න මට පුලුවන්.“
“ලංකාවෙ ඉන්න ඕනම අලි ඇතෙක් ඇත්ගොව්වාගෙන් මිදිලා හාමුපුතා ලඟට ගියාම යම් ආකාරයක නිදහස් මානසිකත්වයක හැසිරෙන්නෙ.“
හිංසනයට පත් වී ඇත්තේ බෙල්ලන්විල ඇතා නොවෙන්නට පුලුවන. එහෙත් කුමණ හෝ අසරණ සත්ත්වයෙක් අන්ත වදයට පමුණුවමින් ඇත. ඒ අපරාධකරුවා සොයා දඬුවම් දිය යුතු බව අවධාරණය කළ යුතුව තිබේ.
එදා බෙල්ලන්විල නා හිමියන්ට සිදුවූ දේ ඇත්ගොව්වා පැවසූ අයුරු…