දිනසේන රතුගමගේ –
මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලේ විහාරස්ථානය පිළිබදව මේ දිනවල විශාල කතිකාවක් ඇති වී තිබේ. ඒ මුලතිව් අධිකරණය මගින් එම විහාරස්ථානයේ අලුතින් ඉදි කළ ඉදිකිරීම් කීපයක් ඉවත් කර ගන්නා ලෙස කළ නියෝගයත් සමගය.
අධිකරණ නියෝගය පනවා ඇත්තේ කුරුදුමලේ බෞද්ධ විහාරස්ථානයටම පමණක් නොවේ. ඒ අසලම පිහිටි ආදී ශිව අයියනාර් කෝවිලේ මෑත කාලීන ඉදිකිරීම් ඉවත් කරන ලෙසටද නියෝග පනවා තිබේ.
මුලතිව් අධිකරණය එවැනි නියෝගයක් පනවන ලද්දේ මුල්ම වතාවට නොවේ. කුරුදුමලේ විහාරය හා ඊට ආසන්නයේ ඇති ආදී ශිව අයියනාර් කෝවිලටද එරෙහිව මුලතිව් අධිකරණයේ පමණක් නඩු හයක් දමා තිබේ. වවුනියාව මහාධිකරණයේද නඩු තුනකි.
මේ සියලුම නඩු වලින් ඉල්ලා ඇත්තේ අයිතිය ඉතා මැනවින් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
කුරුඳුමලේ ඉතිහාසය –
කුරුඳුමලේ බෞද්ධ විහාරය කුරුන්දාවශෝක විහාරය වශයෙන් ඉතා ප්‍රචලිත බවත් එහි සීහලට්ඨ කතා ලියවුණු බවත් ඓතිහාසික සාධක සනාථ කරයි.
අට්ඨ කතා වල ”කුරුන්දක” නම් වූ ගම්මානයක් ගැන නිතර සඳහන් වෙයි. කුරුඳුගමු රට යනුවෙන් කඩඉම් පොත්වල යම් ප්‍රදේශයක් ගැන සඳහන්ය. පදීරට කුරුදු රටට ඉතා සමීපව පිහිටි ගම් ප්‍රදේශයක් බව පූජාවලියේ හා නිකාය සංග්‍රහයේ සඳහන් වෙයි. මේ නිසා කුරුඳුගමු රට කුරුදු රට හා කුරුන්දක යන නාමයන්ගෙන් හඳුන්වන්නේ එකම ප්‍රදේශයක් බව පැහැදිලිය.
කි.ව.571 සහ 604 අතර කාලයේදී පලවෙනි අග්බෝ රජු විසින් කුරුන්ද නම් විහාරයක් කළ බව ඉතිහාසයේ සඳහන් වන අතර පලවන විජයබාහු රජු වීසින් ක්‍රි.ව. 1055 හා 1110 අතර කාලයේදී කුරුන්ද විහාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තිබේ.
මේ අතරවාරයේ ඛල්ලාටනාග රජු විසින් කි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක විහාරය තනා ඇත. ඛල්ලාටනාග රජු විසින් කරවන ලද විහාරය කුරුන්දවාශෝක විහාරය වශයෙන්ද කුරුන්දපාසක විහාරය නමින්ද මහාවංසයේ සදහන් වෙයි.
බෞද්ධ සිද්ධස්ථානයක්..
මේ කාරණා දෙස බලන විට මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පිළිගනීමට අවශ්‍ය ඓතිහාසික මෙන්ම පුරවිද්‍යා සාධක තිබේ.
නමුත් මේ ස්ථානය යුද්ධයත් සමගම හුදෙකලාවීමත් සමගම හින්දු බැතිමත්හු එම ස්ථානයට පැමිණ කෝවිලක් තනා ගත්හ. ඊට ඇත්තේ උපරිම දශක තුනක අතීතයකි. ඔවුන් ඊට වසර කීපයක්ම වන්දනාමාන කොට පොංගල් උත්ස්වයන්ද පවත්වන ලදී.
අධිකරණ ක්‍රියාමාර්ගයේ අතීතය –
යුද්ධය හමාර වීමෙන් පසුව පුරා විද්‍යා නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් ගොස් පරීක්ෂණ අරඹා කෝවිල එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කළහ. මීට එරෙහිව උතුරේ උද්ඝෝෂණ පැවැත්වීම පමණක් නොව මුලතිව් අධිකරණයට ගොස් නඩු පැවරීමටද කටයුතු කළහ.
එම නඩු විභාග කල අවස්ථාවේදී එවකට මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ ලෙනින් කුමාර් විනිසුරුවරයා නිලධාරීන්ට කියා සිටියේ කුරුදුමලේ විහාරස්ථානය සම්බන්ධයෙන් අයිතිය තහවුරු කෙරෙන පුරා විද්‍යා ආඥා පනත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසයි. එවකට සිටි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද මුලතිව් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දී පුරා විද්‍යා ආඥා පනත අධිකරණයට ඉදිරිපත් කරන ලද නමුත් පැමිණිලි පාර්ශ්වයේ බලවත් ඉල්ලීම මත එහි දෙමළ භාෂා පිටපතක් ඉදිරිපත් කරණ ලෙස නියෝගයන් ලැබුණි.
අධිකරණයේ නියෝගයන් ක්‍රියාත්මක කිරීමට පෙර දකුණේ සිට මුලතිව් කුරුදුමලේ විහාරයට ගිය බොහෝ පිරිස් එහි නානාවිධ ඉදි කිරීම් සිදු කලහ. පුරා විද්‍යා කාර්යාලයක් පිහිටුවීමට නිලධාරීන් එහි ගිය අවස්ථාවේදි භික්ෂූන් වහන්සේ පිරිසක් බුදු පිළිමයක් රිය පෙරහැරකින් වඩම්මවාගෙන ගොස් එහි තැන්පත් කිරීමට උත්සහ කළේය. ඒ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ප්‍රදේශවසීන් පැමිණ ඊට විරෝධය පල කොට සිටියහ. අවසානයේදී බුදු මැදුරක තැන්පත් කිරීමට රැගෙන ගිය බුදු පිළිමය පොලීසියේ තැබීමට සිදුවිය.
ඒ අතරවාරයේ අමාත්‍යවරු හා තවත් පිරිස් කොළඹ සිට කුරුදුමලේ විහාරයට ගොස් විවිධ දේ ඉදි කිරීමට පටන් ගැනීම නිසා යළිත් වරක් මුලතිව් ප්‍රදේශයේ දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් මුලතිව් අධිකරණයටත් වවුනියාව මහාධිකරණයටත් ගොස් නඩු පවරූහ. මේ නඩු විභාග කෙරෙන අතරවාරයේදී අධිකරණ මගින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් සඳහන් කළේ කවර ආගමකට අයත් කවර පාර්ශ්වක් විසින් හෝ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු කිසිදු නව ඉදිකිරීමක් නොකරන ලෙසයි.
ගැටලුව මතුවීම –
මුලතිව් කුරුදුමලේ විහාරයේ අලුතින් ඉදි කරන ලද චෛත්‍යයේ සර්වඥ ධාතු තන්පත් කිරීමේ උත්සවයක් සංවිධානය වූයේ මේ මෑතකදීය. එනම් ජූනි මාසයේදීය. ඊට සම්බන්ධ වීමට ගිය පිරිස් යළිත් වරක් කබොක් ගලෙන් නෙලන ලද බුදු පිළිමයක් රැගෙන ගොස් එහි තැන්පත් කිරීමටද උත්සහ කළහ. මේ අව්ස්ථාවේ කලබල වු පිරිස එම ස්ථානයේ විරෝධතාවයක් සංවිධානය කොට ඉන් නොනැවතී මුලතිව් අධිකරණයේ අංක ඒ/ආර්/ 673/18 දරණ නඩුව ගොණු කොට වහාම එම ක්‍රියාදාමයන් නවතන ලෙසට ඉල්ලා සිටියහ.
මේ නඩුව විභාග වන විට මුලතිව් අධිකරණයේ සිටි පෙර විනිසුරුවරයා වෙනත් පළාතකට ස්ථාන මාරු වී ගොස් නව විනිසුරුවරයා වශයෙන් ආර්.ස්වර්ණරාජා කටයුතු කරමින් සිටියේය.
කළින් අධිකරණ නියෝග වලට අනුව කවර හෝ පාර්ශ්වයක් අලුතින් ඉදිකිරීම් නොකරන ලෙසට ලබා දී තිබූ නියෝගය කඩ කොට ඉදිකිරීම් රැසක් කොට ඇති නිසා ආගම් දෙකටම අයත් එම ඉදිකිරීම් වහාම ඉවත් කොට ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා මුලතිව් පොලීසියට නියෝග කළේය.
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ලබා දී ඇති දිනය ජූලි මස 29 වෙනිදාය. නමුත් මේ දක්වා කිසිදු ඉදි කිරීමක් ඉවත් කිරීමට කවරෙක් හෝ පියවර ගෙන නොමැත. මුලතිව් අධිකරණ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පිරිසක් වවුනියාව මහධිකරණයට ගොස් තිබේ. එහිද මේ ස්ථානයන් පිළිබඳව තවත් නඩු කීපයක්ම විභාග වන නිසා බොහෝ විට මුලතිව් අධිකරණ නියෝගය බල රහිත විය හැකිය.
ඉතිහාසය සම්බන්ධව සාධනීය කරුණු ඇත. පුරාවිද්‍යා ආඥා පනතක් තිබේ. ඒ තත්ත්වය තුළ හිමිකම අධිකරණය ඉදිරියේ තහවුරු කරගැනීම බරපතල ගැටලුවක් වූයේ නැත. එහෙත් අධිකරණ නියෝග නොතකා දෙපාර්ශවයම මේ භූමියේ ඉදිකළ ඉදිකිරිම් තුළ දේශපාලන ප්‍රතිරූප ප්‍රවර්ධනයක් තිබිණි. අශිෂ්ට දෙමළ ජාතිවාදීන්ට පිළිතුරු දිය යුතු නෛතික ක්‍රමවේදය පුරාවිද්‍යාව විසින් නොසලකා හැර තිබිණි.
ඔවුන් පුරාවිද්‍යා සාධක මත භූමිය පුරාවිද්‍යා උරුමයක් බව සහතික කරගෙන ඇත. එහෙත් හිමිකම පිළිබඳ නඩුවක් ගොනුවී ඇති විට ඊට නෛතික ක්‍රමවේදය තුළ මුහුණ දී කුරුදුමලේ විහාරය හෙවත් කුරුන්දාවශෝක විහාරයේ අයිතිය සම්බන්ධයෙන් හා එහි නෛතිකභාවය සම්බන්ධයෙන් යම් තීරණයක් අධිකරණයෙන් ලබා ගැනීමට අවශ්‍ය සංයමය තිබිය යුතුය.
මේ මුග්ධ ගැටලුව මේ තරම් දුරදිග ගෙන ගියේ දෙමළ ජාතිවාදී ම්ලේච්ඡයන් නොවේ. ස්වකීය වෘත්තීය භාවය පජාත කළ දේශපාලන රූකඩයක් වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ උද්ච්ඡ ගෝල බාලයන්ය.
දැන් මේ ආගම් දෙකටම කුරුදුමලේ විහාරස්ථානයෙන් ඉඩම් ලබා දී තිබේ. සීමා මායිම් වෙනස් කොට තිබේ. දැන් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අයිතීන් හා උරුමයන් තහවුරු කර කුරුදුමලේ විහාරය ගැන තීරණයක් ගැනීමය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉන්නේ ඒ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කරවීමටය. විද්වත් වෘත්තීය භාවය අවලෙමේ යවා ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන බැලයෙක් ලෙස එම පුටුවේ ඉඳගත් ඔහුට ඒ සඳහා පෞරුෂයක් නැතිනම් එය ජාතියේ අවාසනාවය.
මේ පරිසරය තුළ “කුරුඳුමලේ අපරාධය “ ගැන කොළඹ සිට දේශානුරාගයෙන් ඔද වැඩී යන ඔබට කියන්නට ඇත්තේ මුලතිව් විනිසුරුතුමාට තිත්ත කතා කියමින් උතුරේ දෙමළ ජාතිවාදින්ට බැටේ දෙන්නට කලින් බේරා ගන්නට ප්‍රශ්නයක් ඇතිනම් ඒ ඇත්තේ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලැග සිටිනා ගොබ්බයන් සමග බවය.