(රාජකීය පණ්ඩිත හිඟුල්වල සරණංකර නාහිමි විසින් 2001 වර්ෂයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්පාදිත” බෞද්ධ සංස්කෘතික ලේඛන” සංග්‍රහය වෙත සැපයූ ලිපියක් ඇසුරින් අදට යෙදී ඇති පොසොන් පොහොය වෙනුවෙන් සැකසිනි.)
අප අසා ඇති ඉතිහාසයේ අවුරුදු හාර දහසකටත් පැරණිය යි කියනු ලබන මොහොන්දොජාරො, හරප්පා යුග වලටත් පෙර ඇරඹි, වඩා වර්ධනය වෙමින්, පෝෂණය වෙමින් පැමිණි භාරතීය සංස්කෘතියේ මල්පල ගැන්වුණු කාලය සේ සැලකෙන්නේ ධර්මාශෝක යුගයයි. එකල්හි පවත්වන ලද 3 වැනි සංගායනාවෙන් පසු මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් හා ධර්මාශෝක මහ රජතුමන් විසින් මෙහෙයවනු ලැබූ මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සම්බල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන අය සමග ක්‍රි. පූ. 307 දී මෙම ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළහ.
එකල මෙරට රජකම් කළේ, ද්වීපච්චක්‍රවර්ති දෙවානම්පියතිස්ස මහරජතුමාය.
පොසොන් මස පුරපසළොස්වක වන එදින මෙරට මහත් සැණකෙළියක් පැවැතිණ. එකල පැවැතුණු උත්සව අංගයක් වූ මුව දඩ කෙළියෙහි සතළිස් දහසක් රට වැසියන් සමග රජතුමා නිරත ව සිටියේය. එය මුවන් දඩයම් කිරීම පමණක් නොව මහාකවි කාලිදාසයන්ගේ ශාකුන්තලය නාට්‍යයේ සඳහන් වන්නා සේ රජවරුන් විසින් කාලාන්තරයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබන එක්තරා සැණකෙළි විශේෂයකි. මෙය වර්ෂයක් පාසා පවත්වන්නකි. මුවකු පසුපස හඹාගෙන ගිය රජතුමාට අම්බස්ථලය යන අපර නාමයකින් හඳුන්වනු ලබන මිහින්තලය කඳුමත කුඩා සානුවේදී මිහිඳු මහ රහතන් වහන්සේ මුණ ගැසිණ. උන් වහන්සේගේ දර්ශනයෙන් බියට පත් රජතුමාට මිහිඳු මා හිමියෝ “තිස්ස ” යි ඇමැතූහ. තමන්ගේ නමින් ඇමැතීමට තරම් ප්‍රබලයා කවරෙක් ක්දැ යි රජතුමා බියට මෙන්ම විමතියට ද පත්වූහ.
මෙවෙලාවේ තමා හඳුන්වා දිය යුතුයයි සිතූ මිහිඳු තෙරණුවෝ:
” සමණා මයං මහාරාජ, ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා” (මහාවංසය) (මහරජ, අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබටම අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු) යි කීහ.
මෙයැසූ රජතුමා බිය සැක දුරුකොට අශෝක මහ රජතුමන් විසින් එවන ලද හසුන ද සිහිපත් කොට මේ නම් අශෝක රජතුමන්ගේ දූත පිරිසක්යැයි සිතා ගත්තේය. තමා අත තිබුණු දුනු හී ඉවත ලූ රජතුමා මිහිඳු හිමියන් සමග සිටි අන් අය ද දැක මෙබඳු අය තවත් දඹදිව සිටීදැයි විචාළේය. මෙබඳු අය දඹදිව කොපමණවත් ඇති බවත් දඹදිව කසා වතින් බබළන බවත් මිහිඳු මාහිමියෝ ප්‍රකාශ කළහ. මෙසේ කළ සතුටු සාමිවියෙන් පසු තමා ආ ශාසන ප්‍රතිෂ්ඨාපන කටයුත්තට රජතුමා ගැළපේද නො ගැළපේ දැයි සෙවීම සඳහා ප්‍රශ්න මාලාවක් රජතුමාගෙන් ඇසූහ.
මිහිඳු මාහිමි : (ගසක් පෙන්නා) මේ ගස කුමක්දැයි ඇසීය.
රජතුමා මෙය අඹ ගසෙකි.
මිහිඳු මාහිමි : මේ ගස හැර තවත් අඹගස් තිබේ ද?
රජතුමා : මේ ගස හැර තවත් අඹගස් බොහෝ ඇත.
මිහිඳු මාහිමි : මේ අඹ ගස ද, සෙසු අඹ ගස් ද හැර තවත් ගස් තිබේද?
රජතුමා : තිබේ. එහෙත් ඒවා අඹ නො වේ.
මිහිඳු මාහිමි : ඒ අඹත් නො අඹත් හැර තවත් ගස් තිබේද?
රජතුමා ඇයි ස්වාමිනි, මේ අඹ ගස
මිහිඳු මාහිමි : මහරජ, ඔබට නෑයෝ සිටිද්ද?
රජතුමා :ස්වාමිනි. බොහෝ සිටිති.
මිහිඳු මාහිමි : නොනෑයෝත් සිටිද්ද?
රජතුමා : බොහෝ නො නෑයෝත් සිටිති.
මිහිඳු මාහිමි : ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිද්ද?
රජතුමා : ඇයි ස්වාමිනි, මම.
රජතුමන්ගේ පිළිතුරු වලින් සෑහීමට පත් මිහිඳු මාහිමියෝ රජතුමා බුද්ධිමතෙක් යයි දැනගෙන රජතුමා ඇතුළු රටවැසියාට වරින්වර චුළ හත්ථිපදොපම සුත්‍රය ඇතුළු කොට ඇති සුත්‍ර 13 ක් දේශනා කළහ. එම සූත්‍ර නම්: (මහා වංශයේ 14 පරිච්ඡේදය)
1. චූළහත්ථිපදොපම සූත්‍රය
ම.නි. මුලපෂ්ණාසකය.
2. සමචිත්ත පරියාය සූත්‍රය ඇනි. දුක නිපාතය,
3. පේතවත්ථුව
ඛුද්දක නිකාය,
4. විමානවත්ථුව
බුද්දක නිකාය,
5. සච්චසංයුත්තකය
සංයුත්ත නිකාය,
6. දෙවදූත සූත්‍රය
අ. නි. තිකනිපාතය,
7. බාල පණ්ඩිත සූත්‍රය
ම. නි. උපරිපණ්ණාසකය,
8. අග්ගික්ඛන්ධොපම සූත්‍රය අ. නි. සත්තක නිපාතය,
9. ආසිවිසොපම සූත්‍රය සංයුත්ත නිකාය,
10. අනතග්ගිය සංයුත්තකය සංයුත්ත නිකාය,
11. ඛජ්ජනීය සූත්‍රය
සංයුත්ත නිකාය
12. ගොමය පිණ්ඩික සූත්‍රය
සංයුක්ත නිකාය,
13. ධර්මචක්කප්පවත්තන සූත්‍රය
මහවග්ගපාළි – පඨමක භාණවාරය යි.
චූළහත්ථිපදොපම සුත්‍ර සංක්ෂිප්තය
මේ සූත්‍රාවලිය ඇසුරින් ලංකාවේ දේශනා කළ ඓතිහාසික ප්‍රථම බෞද්ධ දේශනාව වන්නේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ය. එහි සංක්ෂිප්තය මෙසේය.
කරුණානිධාන වූ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කාලයෙහි ජාණුස්සෝණි නම් බ්‍රාහ්මණයා සුදෝසුදු වතින් සැරසී සුදු අසුන් යෙදූ සුදෝසුදු රථයකින් දෙවෙන් දවාලෙහි සැවැත් නුවරින් නික්මුණේය. එවිට ඔහුට ඉදිරියෙන් ආ පිලෝතික පිරිවැජියා මුණ ගැසුණේය. එවිට පිලෝතික සහ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර මෙවැනි සංවාදයක් ඇති විය.
ජාණුස්සෝණි – පින්වත් වච්ඡායනය (වච්ඡ යන ගොත්‍රිකයෙකි). ඔබ කොහේ සිට එන්නෙහිද?.
පිලෝතික – ශ්‍රමණ භවත් ගෞතමයන් ළඟ සිට එන්නෙමි.
ජාණුස්සෝණි – විච්ඡායනය ඔබ භවත් ගෞතමයන් ගැන කුමක් සිතන්නේ ද? ඔහු නැණවතෙක් ද? පණ්ඩිතයෙක් ද?
පිලෝතික – ගෞතමයන් ගැන යමක් කීමට මම කවුද? උන් වහන්සේ ගැන යමක් කීමට එවැනි ම ශ්‍රේෂ්ඨයෙක් සුදුසු වන්නේය.
ජාණුස්සෝණි – ඔබ භවත් ගෞතමයන්ට උසස් කොට ප්‍රශංසා කරති.
පිලෝතික – උන් වහන්සේට ප්‍රශංසා කිරීමට මම කව්ද? උන් වහන්සේට ප්‍රශංසා කිරීමට එවැනි ම උතුමෙක් සුදුසු වෙයි. උන් වහන්සේ පැසසිය යුත්තන් විසින් පසසනු ලබති. දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙකි.
ජාණුස්සෝණි – වච්ඡායනය, ඔබ භවත් ගෞතමයන්ගේ කවර ගුණයක් දැක පැහැදුණේ ද?
පිලෝතික – පින්වත, දක්ෂ ඇත්වන වැසියෙක් දිගු පුළුලැති මහ ඇත්තඩියක් දැක මහ ඇතා මොහුය යි තීරණය කරන්නාක් මෙන් ගෞතමයන්ගේ ඥානය පිළිබඳ කරුණු හතරක් දැක උන් වහන්සේ සම්මා සම්බුද්ධය, උන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය, උන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යි නිශ්චයට පැමිණියෙමි. පින්වත, මෙලොව අනුන් හා වාද කර පළපුරුදු, පරමක ඛණ්ඩනයෙහි සමත් ප්‍රඥාව ඇති ක්ෂත්‍රීය පඬිවරු, බ්‍රාහ්මණ පඬිවරු, ගෘහපති පඬිවරු හා ශ්‍රමණ පඬිවරුය යි පඬිවරු සතර කොටසක් වෙති. එම පඬිවරු භවත් ගෞතමයන් වහන්සේ යම්කිසි තැනකට වැඩම වන බව දැන උන්වහන්සේ ගෙන් ඇසීම සඳහා නොයෙක් මාදිලියේ ගැඹුරු ප්‍රශ්න සකස්කරගෙන යති.
ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඔවුන්ගේ අදහස් උදහස් දැන, ඊට ගැළපෙන සේ ධර්මය දේශනා කරති. බණ ඇසූ ඔවුහු ප්‍රශ්න නො විචාරා ම.වාද නොකර ම අනගාරික සසුනෙහි පැවිදි වෙති. ඔවුහු කාය – චිත්ත විවේකයෙන් යුක්ත ව අප්‍රමාද ව කෙලෙසුන් තවන වීර්ය ඇතුව, භාවනා කොට මාර්ග – ඵල ලාභී ව වෙසෙති. එදා අපි එසේ නුවුවත් දැන් අපි නියම ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ, නියම රහත්හු වෙමුයයි උදත් අණති. මෙම කරුණෙත් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධය යි ද, උත් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය යි ද, උන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යි ද නිශ්චයට පැමිණියෙමි.
මෙයැසූ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා තමා හුන් අශ්ව රථයෙන් බැස, උතුරු සළුව එකස් කොට සකස්ව පොරවාගෙන භවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටින දෙසට වැඳගෙන “නමෝ තස්ස සම්මා සම්බුද්ධස්ස ” යි කියමින් උදන් ඇනුවේය.
අපි කවදා හෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමඟ එකට එකතු වන්නෙමු නම් කථා සල්ලාපයෙහි යෙදෙන්නෙමු නම් ඉතා යෙහෙකැයි සිතා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ උන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිවා එකත්පසෙක හිඳ, පිලෝතික පිරිවැජියා සමඟ කළ කථා සල්ලාපය මුළුමනින් ම සැල කෙළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ජාණුස්සෝණි බ්‍රාහ්මණයාට ” බමුණ, මෙපමණකින් හත්ථිපදොපමාව සම්පූර්ණ නො වන්නේය යි කියා එය විස්තර වශයෙන් දේශනා කළහ.
බ්‍රාහ්මණය, දක්ෂ ඇත්වන වැසියෙක් වනයේ දිගු පුළුලින් යුත් ඇත්තඩියක් දැක මේ මහ ඇතාගේ ඇත්තඩියක්ය යි නො සිතා වනයේ සිටින වාමනික, උච්චාකාලාරික උච්චාකණෙරුක ඇතිනියන්ගේ පා සටහන් ද සසඳා බලා, අන්තිමට රියන් හත අටක් ඉහළ සිරුර ගැටුණු තැන් ද, දත්වලින් ඇන පලුදු කළ තැන් ද, ඉහළ අතුපතර කැඩු තැන් ද, ගස් මුල හෝ අභ්‍යවකාශයෙහි යන්නා හෝ හිඳිනා හෝ හොත්තා වූ හෝ මහ ඇතෙකු දැක පා සටහන් ආදිය අනුව මොහු නම් නියම මහ ඇතාය යි නිශ්චයට පැමිණෙයි.
මෙහි එන උපමා කථාව සසඳා ඇත්තේ මෙසේය: මුල පටන් නීවරණ ප්‍රහාණය දක්වා ධර්ම දේශනාව නාග වනයයි, ඇත්වනයයි. දක්ෂ ඇත්වන වැසියා නම්: නිවන් පතා පිළිවෙත්හි යෙදෙන යෝගාවචරයායි. මහ ඇතා නම්: බුදුරජාණන් වහන්සේයි. මහ පාසටහන් නම්: ඥාණ, අභිඥාවෝය. දක්ෂ ඇත්වන වැසියා ඒ පාසටහන් දැක. මේවා වාමනික ඇතිනියගේ විය යුතුය, මේවා කාලාරික ඇතිනියගේ විය යුතුය. මේවා කණේරුක ඇතිනියගේ විය යුතුය යි නිෂ්ඨාවට නොපැමිණීම මෙන් යෝගාවචරයා ධ්‍යාන අභිඥා බාහිරක ශාසන වලත් ඇත්තේය යි නිගමනයකට නොපැමිණේ. දක්ෂ ඇතිවන වැසියා ඒ ඒ පා සටහන් දැක මේවා මේ මහ ඇතාගේ පාසටහන්ය. අනෙකකුගේ නොවේය යි නිෂ්ඨාවට පැමිණෙන්නාක් මෙන් ආර්ය ශ්‍රාවක යෝගාවචරයා අර්හත්වයට පැමිණි සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥාන දස්සන මගින් බුදුරජාණන් වහන්සේ නම් මේ උතුමාය යි දැන ගනී. නිෂ්ඨාවට පැමිණෙයි.
බමුණ, පෙර බුදුවරයන් මෙන් ඉපිද, බුදු වී සත්ත්වයන් නිවන් යවා පිරිනිවන් පෑ හෙයින් තථාගත වූ, කෙලෙසුන් දුරු කළ හෙයින් අර්හත් වූ, සියලු ධර්මයන් අවබෝධ කරගත් හෙයින් සම්මා සම්බුද්ධ වූ, අෂ්ට විද්‍යා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුත් හෙයින් විජ්ජාචරණ සම්පන්න වූ, සුන්දර තැන වූ නිවනට ගිය හෙයින් සුගත වූ, ලොව දත් හෙයින් ලොකවිදූ වූ, නුවණින් අග්‍ර හෙයින් අනුත්තර වූ, නො දැමුණවුන් දමනය කළ හෙයින් පුරිසදම්ම සාරථී වූ, දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින් සත්ථා වූ, සියලු සත්ත්වයන්ට උතුම් හෙයින් භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ ලෝකයෙහි උපදිති.
උන් වහන්සේ ලොව සියල්ල දැන මුල මැද අග යහපත් වූ පිරිසිදු වූ බඹසර ප්‍රකාශ වන ධර්මය දේශනා කරති.
යම්කිසි ගැහැවියෙක් ධර්මය අසා ශ්‍රද්ධාව ඇති කරගෙන ගිහිගෙය සම්බාධ සහිතය, පැවිද්ද උවදුරු රහිතය යි සිනා ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදි වූ ඒ යෝගාවචර භික්ෂුව කයින් පරිහරණය කරන සිවුරෙන් ද, කුසින් පරිහරණය කරන පිණ්ඩපාතයෙන් ද, සතුටු වෙයි. සපත් බරිත් යුත් කුරුල්ලෙකු මෙන් ආර්ය ශීලයෙන් යුක්තව නිරවද්‍ය සැපය අනුභව කරයි.
චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය යන ඉන්ද්‍රියන් සංවර කරගෙන, කෙලෙසුන්ගෙන් තොර ආධ්‍යාත්මික අවිකීර්ණ සැපය විඳියි. සතර ඉරියව්වෙහි දීම සතිසම්පජඤ්ඤයෙන් යුක්තව පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි දැඩි ලෝහය හැර, සියලු සතුන් කෙරෙහි හිතසුව කැමැති වෙමින් ථින මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්චාවෙන් තොර ව කුසලා කුසල කර්ම මොනවා දැයි යථාවබෝධයෙන් යුක්ත ව වෙසෙයි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරගැනීමට බාධා කරන කාමච්ඡන්දාදි පංචනීවරණයන් දුරු කර පිතිසුඛ සහිත ප්‍රථම ධ්‍යානය ද, සිතේ එකෙදි භාවයයි කියන ලද සමාධිය ඇති අවිතක්ක අවිචාර සමාධි පිති සුඛ ඇති, උපේක්ෂාවෙන් හා සිහියෙන් යුත් සැප විහරණ ඇත්තේය යි කියනු ලබන තෘතිය ධ්‍යානය ද,සොම්නස් දොම්නස් දෙකෙන් තොර සැප නැති දුක් තැති උපෙක්ඛාසතිපාරිසුද්ධිය යි කියනු ලබන චතුත්ථ ජිඣානය ද උපදවා වාසය කරයි.
බමුණ, මේවා ද තථාගතයන් වහන්සේගේ ඤාණපදයකි. ඤාණ නැමැති දළ ගැවැසුණු තැනකි. එහෙත් බමුණ, මෙම ධ්‍යාන අභිඥාවන් බාහිරක ශාසනවල ද ඇති හෙයින් ආර්ය ශ්‍රාවකයා මෙපමණකින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යයි ද, උන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත යයි ද, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයයි ද නිශ්චයකට නොපැමිණෙයි.
ඒ භික්ෂුව සිත එකඟ කර සර්වප්‍රකාරයෙන් පාප ධර්මයන්ගෙන් මිදී, කෙලෙසුන් කෙරෙන් දුරුව අනෙක ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ දන්නා පුර්නි වෙසානුස්මෘති ඤාණය ද, සත්වයන්ගේ චුති උප්පත්ති දැනගන්නා වූ චුතූපපාත ඤාණය ද, සියලු ආශ්‍රවයන් ක්ෂය කරන්නා වූ ආසවක්ඛය ඤාණය ද, මෙසේ දැන ගන්නා වූ, ඒ යෝගාවචර භික්ෂුවගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද භවාශ්‍රවයන්ගෙන් ද, අවිද්‍යාශ්‍රවයන්ගෙන් ද මිදෙයි. කෙලෙසුන්ගෙන් සිත මිදුණු විට මිදුණේය යන ඤාණය පහළ වෙයි, සංසාර උත්පත්තිය අවසන් විය, කළ යුතු කිස කර අවසන් විය. මීට පසු කළ යුතු දෙයක් නැතැයි දැන ගනී. බමුණ, මෙය ද තථාගතයන් වහන්සේගේ ඤාණය ගැටුණු තැනකි. ඤාණය රැදුණු තැනකි. බමුණ, ආර්ය ශ්‍රාවකයා මෙපමණකින් අර්හත් ඵලය ලැබූ අවස්ථාවෙහි කළයුතු සියල්ල කර අවසන් හෙයින් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය යි ද, උන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය යි ද, ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යි ද නිශ්චයට ගියේ වෙයි. බමුණ මෙපමණකින් හත්ථිපදොපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වෙයි.
මෙයැසු ජාණු සොණි බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් විය.
චූළහත්ථිපදොපම සූත්‍රය විද්‍යාත්මක පර්යේෂණ ස්වරූපය මෙබඳුය යි පැහැදිලි වන සුත්‍රයකි. යමක් දුටු පමණින් ඇසූ පමණින් අනුමාන කළ පමණින් තීරණයට නො බැස හේතු යුක්ති හොඳින් හොයා බලා සාධක අනුව තීරණ ගැනීමේ විද්‍යාත්මක ක්‍රමය මෙම සූත්‍රයේ මනාව පැහැදිලි කර ඇත.
කාලාම සූත්‍රයෙන් උගන්වන්නේ ද විද්‍යාත්මක මෙම ශාස්ත්‍රීය ක්‍රමය මැයි. ආර්ය ශ්‍රාවකයා අර්හත් ඵලය ලබන තුරු සසුන් පිළිවෙත සම්පුර්ණ කළ කෙනෙක් නොවෙයි. අර්හත් ඵලය ලබා නිර්වාණය සාක්ෂාත් කළ පසු සසුන් පිළිවෙත සම්පුර්ණ කළ කෙනෙකි. එවිට ඔහු බුදුරජාණන් වහන්සේ කවරෙක්දැ යි තේරුම් ගෙන නිෂ්ඨාවට පැමිණෙන්නේය.







