තුෂාරී කළුබෝවිල –
-
එක සැරයක් චාර්ජ් කරලා කිලෝමීටර 120ක් දුවන්න පුලුවන්… බදු නැති නිසා හිතාගන්න බැරි අඩුමිලට ලැබෙයි…
-
දැනට හදපු ත්‍රීවිලර් තුනම ඉතාම සාර්ථකයි… ලබන අවුරුද්දෙ මහා පරිමාණයෛන් වැඩ පටන් ගන්න පුලුවන්…
-
ලෝකය පුරාම ඉහළම ඉල්ලුමක්… රාජ්‍ය අනුග්‍රහය තියනවා නම් රටම ගොඩ දාන්න පුලුවන්…
-
එන්ජිමක් නෑ… ඉඩ ඕන තරම්…
ශ්‍රී ලංකාවේ කාර් නිෂ්පාදනය ආරම්භ කළ වේගා ඉනොවේෂන් සමාගම කාර් නිෂ්පාදනය එලෙස ම තිබියදී මේ දිනවල ත්‍රී රෝද රථයක් හඳුන්වාදී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඉන්ධන කොහෙත් ම අවශ්‍ය නොවීම යි.
ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් ත්‍රීරෝද රථයට බෙහෙවින් සමාන පෙනුමක් ඇති නමුත් මෙම වේගා ත්‍රීරෝද රථයට ඇන්ජිමක් නැත. ඒ නිසා ම ඉන්ධන අවශ්‍ය නොවන බැවින් පරිසර හිතකාමී වූවකි. ධාවනයේදී පරිසරයට අහිතකර දුමක් මුදා හැරීමක් නැත.
එසේ නම් මෙම වේගා ත්‍රීරෝද රථය ධාවනය වන්නේ කෙසේ දැයි එහි නිර්මාතෘ මෙන් ම වේගා ඉනොවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතාගෙන් ම අපි විමසුවෙමු.
“මේ ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙනුයි. මේකට චාජර් එකක් තියෙනවා. එක වරකට චාජ් කළා ම කිලෝමීටර් 100-120 අතර දුරක් ගමන් කළ හැකියි. මීට අමතර ව විදුලි කෝෂයක් වහලයේ සවි කර තියෙනවා. ඒ මගිනුත් අමතර විදුලි බලයක් සූර්ය ශක්තිය හරහා ලබා ගත හැකියි.
සාමාන්‍ය ත්‍රීරෝදයක වාගේ ම ඉදිරිපස රියදුරුට අමතර ව පිටුපස තිදෙනෙකුට ගමන් කළ හැකියි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේකට ඇන්ජිමක් නැති නිසා පිටුපස සම්පූර්ණ ඉඩ ඉතිරි ව තිබෙනවා. ගෙදරට අවශ්‍ය බඩු ගෙනියන්න වගේ ම ජංගම වෙළෙඳාමේ යෙදෙන අයට මේ ඉඩ බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. මේකෙ චැසිය, බොඩි පැනල් හැම දෙයක් ම වගේ ලංකාවේ ම යි හදන්නේ. දැනට අපි ත්‍රීරෝද රථ තුනක් සම්පූර්ණයෙන් ම නිම කරලා ධාවනයේ යොදවා තිබෙනවා. ඒවා හොඳින් ක්‍රියා කරනවා.
ලබන වසර මුල වෙද්දී තවත් මෙවැනි ම ත්‍රීරෝද රථ හතරක් සම්පූර්ණයෙන් ම නිම කරනවා. දැනට මරදානෙයි, රාජගිරියෙයි අපේ වැඩපොළවල් දෙකක් තියෙනවා. මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාව ඉදි කරලා, ලබන වසර මැදදි වේගා ත්‍රීරෝද රථ වෙළෙඳපොළට නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා ආනයන බද්දක් නැති නිසා ගොඩාක් අඩු මිලකට ලංකාවේ අයට මේ රථය මිලට ගත හැකියි. දැනටමත් අප්‍රිකාව, ගානාව වගේ රටවලින් ඉල්ලුමක් අපට තියෙනවා. රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනවා නම් රට දැනට පත්වෙලා ඉන්න ආර්ථික අර්බුදය ජයගන්න මේ වෙළෙඳපොළ විශාල සහායක් කරගන්න හැකි වේවි.” යැයි ආචාර්ය කුලපාල මහතා කීවේ ය.
ඔවුන් විසින් මීට පෙර නිෂ්පාදනය කළ වෙගා කාර් ද ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරගෙන යන බව ද ඔහු කීවේ ය. මේ අවස්ථාවේදී දේශීය නිපැයුම්කරුවන් දිරිමත් කොට ඒ හරහා විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කිරීම ජාතික වගකීමක් සේ ම රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීමට ද හේතු සාධකයක් වනු ඇත.