ගුරු විදුහල්පති අරගලය නිසා ඉතාම අහිතකර දිශාවකට ගමන් කරමින් ඇත. රජය මෙන්ම ගුරු සංගම්ද අනම්‍යශීලී කර්කශ හැසිරීමක් ප්‍රකට කරමින් සිටිති. මේ අවස්ථාවේදී අත්දැකීම් බහුල වෘත්තීය සමිති නායකයෙක් ලෙස රටේ තීරණාත්මක දේශපාල මැදිහත්වීම් ගණනාවකට නායකත්වය දුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අභයාරාමයේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූහ. ඒ ගුරු විදුහල්පති ගැටලුවට සාධාරණ විසඳුමක් සොයා ගැනීම සඳහාය. එම සර්ව පාක්ෂික සමුලුවේ අත්දැකීම පිළිබඳ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ලංකාසර සමග විශේෂ සංවාදයකට එක් වූහ. මේ පෙළ ගැසෙන්නේ ඒ සංවාදයයි.
ප්‍රශ්නය – ගුරු ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සදහා සර්ව පාර්ශ්වීය සමුළුවක් ඔබ වහන්සේ කැදෙව්වේ ඇයි?
පිළිතුර – ගුරු විදුහල්පතිවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් හා දේශපාලන පක්ෂ නායකයින් ගණනාවක්ම මගෙන් ඉල්ලීම් කළා මේ ප්‍රශ්නය විසඳා දෙන්න මැදිහත් වෙන්න කියලා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව තමයි මම ඉදිරිපත් වුණේ.
ප්‍රශ්නය – මේ ගුරු විදුහල්පති ගැටලු ඔබ වහන්සේ දකින්නේ කොහොමද?
පිළිතුර – ඉක්මනින් විසඳුමක් ලබා දිය යුතු වෘත්තීය ගැටලුවක් හැටියටයි මම මෙය දකින්නේ. මොකද අපේ රටේ මේ වෘත්තීය සමිති අරගලය තව තවත් ඉදිරියට ඇදෙනවා කියන්නේ අපේ දරුවන්ට බරපතල අසාධාරණයක් සිදුවෙනවා කියන එකයි. දරුවන්ට නිසි වයසේදී නිසි අධ්‍යාපනය ලැබුණේ නැතිනම් අනාගතයේදී අපේ රටේ මෝඩයෝ හුඟාක් බෝවෙයි. ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වයෙන් අපේ දරුවන්ව බේරාගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමක් කොට සලකා තමයි මම මේ ප්‍රශ්නයට මැදිහත් වුණේ.
ප්‍රශ්නය – සර්ව පාර්ශ්වික සමුළුවට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සියල්ලම සහභාගි වුණාද?
පිළිතුර – ජෝසප් ස්ටාර්ලින් සහ මහින්ද ජයසිංහ කියන මහත්වරුන් දෙපල සහභාගි වුණේ නැහැ.
ප්‍රශ්නය – ජොසප් ස්ටාර්ලින් සහ මහින්ද ජයසිංහ කියන්නේ ගුරු විදුහල්පතිවරුන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිති දෙකක්. මේ අය සර්ව පාර්ශ්වික සමුළුවට සහභාගි නොවුණ බව කියවෙන්නේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා ගන්න බැහැ කියන එක නේද?
පිළිතුර – මෙවැනි ප්‍රශ්නයකදී අපි හැම විටම නම්‍යශීලි විය යුතුයි. මොකද ගුරුවරුන්ගේ මේ වෘත්තීය ඉල්ලීම් හේතුවෙන් තැලෙන්නේ රටේ දරු පරපුර. මෙතැනදි ආණ්ඩුවත් වෘත්තීය සමිතිත් යන දෙපාර්ශ්වයම නම්‍යශීලී විය යුතුයි.
ප්‍රශ්නය – සර්ව පාර්ශ්වික සමුළුවට සහභාගි නොවූ වෘත්තීය සමිති නැවත කැඳවා ගැනීමට යම් උත්සහයක් දරනවාද?
පිළිතුර – නාරාහේන්පිට අභයා රාමය කියන්නේ වෘත්තීය අරගලවලට පණ දුන් පූජා භූමියක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්න කාලේ ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයින් කිසිදු ආණ්ඩුවකට ලබා දිය නොහැකි ඉල්ලීම් ඉල්ලුවා. ඒ වෙලාවේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා ජනතා විමුක්තිපෙරමුණෙ නායකයින් කැඳවලා මේ ප්‍රශ්නය තේරුම් කර දෙන්න කියලා. මමයි සෝභිත හාමුදුරුවොයි එදා ඒ කාර්ය භාර ගත්තා. ඒ නිසා මම අදටත් කියන්නේ නම්‍යශීලී නොවන වෘත්තීයසමිති සිටිනවා නම් ඒ අයට කරුණු කාරණ මුලින් පහදා දිය යුතුයි. ආණ්ඩුවත් නම්‍යශීලීව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
ප්‍රශ්නය – ඔබ වහන්සේ විශ්වාස කරනවාද සර්ව පාර්ශ්වික සමුළුව හරහා සියලුම වෘත්තීය සමිති නායකයින් දේශපාලන පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමෙන් මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා.
පිළිතුර – මට විශ්වාසයක් තියෙනවා ප්‍රශ්නය සංකීර්ණ නොකර විසඳා ගතහැකි මාර්ගයෙන් වෘත්තීය ඉල්ලීම් ඉල්ලනවා නම් මෙය ජයග්‍රහණය කළ හැකියි. සමහරුන්ට මෙය ජයග්‍රහණය කිරීමට කිසිම උවමානාවක්න නැහැ. ඔවුන්ට ඕනේ මේක තවත් ඉදිරියට අරගෙන යන්නයි.