බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

කිසිදා පියවි ඇසින් නුදුටු කැලණි සිතුවම් මහිමය කැටිකළ  “උරුමයක අරුමය“ 

by editor
අප්‍රේල් 10, 2021
in කලා
උරුමයක අරුමය කෘතිය

උරුමයක අරුමය කෘතිය

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑත කාලීන ඉතිහාසයේ ප්‍රශස්ථම සංරක්ෂණ කාර්යයක් නිමා කළේය. ඒ කැලණිය රජමහා විහාරයේ බිතු සිතුවම් ක්ෂුද්‍ර ඡායාරූපකරණය කර සංරක්ෂණය කිරීමය. අනතුරුව එම විශිෂ්ට පර්යේෂණ කාර්ය මුද්‍රිත නිබන්ධනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. එම කෘතිය දොරට වැඩීමේ අතිශය චාම් උත්සවය කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (08) කැලණිය රජමහා විහාර භූමියේ දී පැවැත්විනි.

කාතිය එළිදැක්වූ අවස්ථාවේ දී…

ක්ෂුද්‍ර ඡායාරූපකරණය ලෝකයේ වෙනත් දැනුම පරාසයක් විවර කළ විෂයකි. එම විෂයේ මූලධර්ම ශ්‍රී ලාංකික සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා යොදාගැනීමේ ප්‍රමුඛ පර්යේක්ෂකයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී අර්ජුණ සමරවීරයන්ය. කැලණි විහාරයේ වර්ග අඩි දහඅට දහසකට වැඩි ප්‍රමාණයක එක් පැහැර පැතිරුණු දැවැන්ත සිතුවම් තල හරස් කොටු දැල් ක්‍රමයට වෙන් කර එකම ආලෝකයක්, කාච විවරයක් හා දුරක් සහිතව, කාචවල ඇති වන දෝෂ අවම කරගත හැකි තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් එක් එක් කොටුව ඡායාරූපගත කර, අනතුරුව එක් සිතුවම් තලයක් ප්‍රතිනිර්මාණය කිරීමේ වෙහෙසකර ශාස්ත්‍රීය මෙහෙවර ඔහු ඇතුළු පිරිස නිමා කළහ.

මෙතෙක් කිසිවෙකු පියවි ඇසට දැක නොතිබුණු විශිෂ්ට සිතුවම් ද සහිත කැලණි විහාර චිත්‍රකරණයේ මන්මත් කරවන චමත්කාරය දැන් ශාස්ත්‍රාභිලාෂීන් වෙත ප්‍රදානය වී ඇත. මෙම සංරක්ෂණ කටයුත්තෙන් අනතුරුව කැලණිය සිතුවමක් ආසන්න මිලිමීටරය තෙක් ඉතා නිවැරදිව කියවිය හැකිය.

අප්‍රමාණ කැපවීම හා ඉවසීම සහිතව ප්‍රගුණ කළ විනය හා ශික්ෂණය ප්‍රකට වන මෙම ශාස්ත්‍රීය ව්‍යායාමයේ යෙදුණු කණ්ඩායමෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවීර, ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී පාලිත හේරත්, පර්යේෂණ නිලධාරී සුමේධා දීප්ති කුමාරි හා නිශාන්ති රණසිංහ, ගවේෂණ සහකාර අයි.පී.එස් නිශාන්ත, පින්තාරුකරු ලසන්ත අතුකෝරල, විදුලි කාර්මික සේකර යන පිරිස වෙති. මේ ලිපිය එම උත්කෘෂ්ට ශාස්ත්‍රීය කෘත්‍ය නිමිත්තෙනි

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

උරුමයක අරුමය කෘතිය

කැලණිය සිංහලයේ ආඪ්‍ය සංස්කෘතිය හෙබවූ පුරාණ නරගරයකි. ඓතිහාසික සාධක ප්‍රකාකරව අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස වන විට මේ නගරය අතිශය සංවිධිත සමෘද්ධිමත් නගරයක් වී තිබිණි. විද්වත් මතය අනුව කැලණිය පුරාණ වෙළෙඳ නගරයකි. කැලණි නාමය මුලින්ම සඳහන් වන්නේ දීපවංශයේ හා මහාවංශයේය. මහාවංශය අනුව බුද්ධකාලීන ලාංකිකයෙකු වූ මණිඅක්ඛික නම් නා රජුගේ වාස භවන පිහිටා තිබෙන්නෙ කල්‍යාණි ගං මුවදොරය. ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායනයේ දක්වන විභීෂණ කැලණි පුරවරයට අධිගෘහිත දෙවියෝ වෙති. සාහිත්‍යය හා ප්‍රවාද සහිත මුලාශ්‍ර දක්වන්නේ ලාංකික සංස්කෘතික ඉතිහාසය තුළ කැලණිය අත් පත් කරගත් ප්‍රමාණය ය.

මහාවංශානුගත තොරතුරු අනුව අනුරාධපුර මුල් යුගයේ සිට සංවර්ධනය වූ බෞද්ධ සම්ප්‍රදායක් කැලණිය මුල් කරගෙන පැවතිණි. වංශකතා අනුව යටාලතිස්ස රජහු කැලණියේ විහාරයක් ද, මාලිගාවක්ද කළහ. පූජාවලිය දක්වන්නේ පුරාණ කැලණි චෛත්‍යය සාදනු ලැබුවේ රුහුණේ කාවන්තිස්සයන් බවය. දුටුගැමුණු රාජ්‍ය සමය වන විට එම පුදබිම ප්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් වූ බැව් පෙනේ. එහි භික්ෂූන්වහන්සේ පන්සිය නමක් වැඩ වාසය කළ බව මහාවංශය දක්වයි.

මධ්‍යකාලීන යුගයේදී නිශ්ශංකමල්ල රජු කැලණි විහාරයට නවකම් කළ ආකාරය ගල්පොත සෙල් ලිපියේ පැනේ. කාලිංගමාඝ විසින් ව්‍යසනයට පත් කරන ලද කැලණි විහාරය තුන් වන විජයබාවෝ යළි ගොඩනැංවූහ. යටාලතිස්ස රජ දවස කළ පස්මහල් පහය, ඔත් පිළිමගෙය, තිවංක පිළිමගෙය, දාගැබ් මළුව, සලපතල මළුව, ඇත්රුව සහිත මණ්ඩපය, දෙවන පැරකුම්බාවන් පිළිසකර කළහයි මහාවංශය කියයි.

පුරාණ කැලණි පුරයේ අවසන් විභූතිමත් පවත අපට කියන්නේ ගම්පොළ හා කෝට්ටේ යුගයන්හි ලියැවෙන සංදේශ කාව්‍යාවලිය ය. කෝට්ටේ යුගයේ හය වන බුවනෙකබා සමය වන විටත් කැලණිය ජාත්‍යාන්තර බෞද්ධ සම්බන්ධතා පැවැත්වූ බෞද්ධ මධ්‍යස්ථානයක්ව තිබිණි. එහෙත් දොන් ජුවන් ධර්මපාලගේ ආගමික විප්‍රක්‍රාන්තිය සමඟ පහතරට බෞද්ධ මධ්‍යස්ථාන කතෝලික පල්ලි බවට පරිවර්ථනය වන වකවානුවේ පෘතුගීසීහු කැලණි විහාරය පැහැරූහ.

වර්ෂ 1575 දී කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරය කොල්ල කා නින්දිත සංහාරයකට ලක් කර නටබුන් ගොඩැල්ලක් බවට පත් කිරීමෙන් අනතුරුව එහි ආගමික වතාවත් තහනම් කළේය. කැලණිය පුදබිම සොහොන් බිමක් විය.

යළි ගොඩනැඟෙන කැලණිය

ශතවර්ෂ දෙකහමාරක් තිස්සේ මේ පුදබිම නටබුන්ව වල් වැදී සැඟව තිබිණි. නමුත් කිර්ති ශ්‍රී රාජසිංහ සමයේ අවසන් භාගයේදී උපන් බෞද්ධ පුනරුදයත් සමඟ වැලිවිට සරණංකර හිමියෝ මේ උත්තුංග පුදබිම යළි ගොඩනැංවීම ඇරඹූහ. උන්වහන්සගේ අනුශාසනා පරිදි එතුමන්ගේ සිසුවෙකු වූ දෙහිගස්පේ අත්ථදස්සි හිමියෝ කටුකොහොල් හැරපියා මේ පුදබිම සංවර්ධනය කිරීමේ අඛණ්ඩ මෙහෙවර ඇරඹූහ.

ප්‍රදේශයේ ප්‍රභූන් වූ සිරිවර්ධන ළමාතැනී, වික්‍රමතිලක මුදලිගේ දොන් වෙළුන් අප්පුහාමි හා එම මැතිනිය, ඇම්. මාග්‍රිස් ප්‍රනාන්දු, ධර්මවික්‍රම මුහන්දිරම්, දොන් පිලිප් විජේවර්ධන වැන්නවුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වුණු කැලණි විහාරය සමෘද්ධිමත් අවසානයක් කරා එළඹෙන්නේ හෙලේනා විජයවර්ධන මහෝපාසිකාවගේ යුගයේදීය. පැරණි විහාර මන්දිරයට යාබදව නව විහාර මන්දිරය ඉදි කරන්නී එතුමියෝ ය. ඒ වර්ෂ 1927 දීය. එම විහාර මන්දිරයේ කටයුතු නිමා වන්නේ වර්ෂ 1946 දෙසැම්බර් 28 දාය.

කැලණිය විහාර මන්දිර බිතු සිතුවමෙන් යුග දෙකක් රූපණය කෙරේ.

අපැරැණි විහාරගෙයි පැහැදිලිව 19 වැනි සියවසේ සිතුවම් හා මූර්ති පෙනේ. පැරැණි ප්‍රතිමා ගෘහයේ නුවර යුගයේ භාවිත ලක්ෂණ ප්‍රකට කළ අලංකාර සැතපෙන පිළිමයක්, හිඳි බුදු පිළිමයක් සහිත චිත්‍රාවලියකි. මහනුවර සිතුවම් සම්ප්‍රදාය නියෝජනය කරන පාර්ශ්වික මිනිස් රූ සහිත එම සිතුවම් කළ අප්‍රකට සිත්තරා සිය රේඛා භාවිතය කර ඇත්තේ අතිශය සියුම් හා විචිත්‍රවත් ලෙසය. ඔහු මවන හැඩතල මනරම්ය.

එහි පසුතලයන්හි ඇති යුරෝපීය ආභාසය සහිත ගොඩනැගිලි, ගෘහ උපකරණ ආදීය තත්කාලීන සමාජ මනෝභාවයන් ගේ ප්‍රකාශනයන්ය. විශිෂ්ට පරිකල්පනාවන් නොව, නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ ලාලසාව එම සිතුවම් තුළ ගැබ්ව තිබේ.

සෝලියස් මෙන්දිස් සිතුවම් සම්ප්‍රදාය

නව විහාරය හොබවන්නේ පැරැණි සම්භාව්‍ය කලාවන්ගේ ආභාසය ලත් නව කලා සම්ප්‍රදායකින් යුතු සෝලියස් මෙන්දිස් සිත්තරාගේ සිතුවම්ය. මෙම ප්‍රතිමා ගෘහයේ චිත්‍රකරණය ලාංකේය චිත්‍ර සම්ප්‍රදායේ‍ නිශ්චිත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය.

සිතුවම් තලයේ දර්ශනයක්

පොලොන්නරුව තිවංකය තුළ ජීවමාන කළ මහා චිත්‍ර සම්ප්‍රදාය කැලණි විහාරය බිතු මත යළි ඉපදවූ මුනිවර කලාකරුවා වූයේ සෝලියස් මෙන්දිස්ය. සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනයත්, මහාවංශය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඇසුරු කරමින් කළ ඉතිහාස ගවේෂණයත්, සම්භාව්‍ය කලා සම්ප්‍රදාය පරිශීලනයෙන් ප්‍රගුණ කළ ශික්ෂණයත්, ඉන්දියාවේ ප්‍රභූ කලාකරුවන් ඇසුරින් ලද බහුශ්‍රැතියත් මේ චිත්‍ර ශිල්පියා තුළ බිහි කර තිබූ පරිකල්පනයේ විශිෂ්ටත්වය කියැවිය හැක්කේ කැලණියේ සිතුවම්වලින් පමණි. සීගිරිය සිතුවම් කළ, තිවංකය සිතුවම් කළ, අජන්තාව සිතුවම් කළ මහා සිත්තරුන්ගේ අධ්‍යාත්මික සංයමය සෝලියස් මෙන්දිස් කැලණි විහාරයේ බිතු මත ප්‍රකට කර තිබිණි.

සෝලියස් මැන්දිස් විසින් නව විහාර ගෘහය තුළ යථාර්ථවත් කළේ සිංහලයේ මහා චිත්‍ර කලා සම්ප්‍රදායේ කූට ප්‍රාප්තිය ය. චිරන්තන සම්භාව්‍ය කලා සම්ප්‍රදායන්හි සාධනීය නූතන භාවිතාවක් ගැන ඇසෙනවා නම් අප දකින එවැනි එකම ආදර්ශය සෝලියස් මැන්දිස් කළ කැලණිය චිත්‍රාවලිය ය. එහි වර්ණාවලිය නෙතට ප්‍රියය. එතුමන් වර්ණ සකස් කරගැනීමේදී ඒ සඳහා ප්‍රධාන කොටම ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන තිබිණි. ප්‍රධාන කොට කහ, රතු, සුදු, දුඹුරු, කළු, නිල්, සහ කොළ වර්ණයන් මෙම සිතුවම් හි හඳුනාගත හැකිය. කහ , රතු, දුඹුරු මැටිවල ඇති ස්වභාවික වර්ණයන් ම භාවිත කර තිබිණි. නිල් කොළ පැහැයන් ශාක යුෂ මඟින් සකස් කර තිබිණි.

ඔහු සංකල්ප රූප මවන ආකාරය දාර්ශනික චින්තකයෙකුගේ විචක්ෂණ ඥාන ප්‍රභාව ප්‍රකාශ කළේය. මේ සිතුවම්වල වර්ණ, හැඩතල, වස්තූන් සහ රේඛා සෑම විටම සමෝධානික විය. එමඟින් සිතුවම් රසවිඳින්නා තුළ සන්සුන් නිරාමිස රසයක් උපදවන්නට ශිල්පියා සමත් වූයේය. සෝලියස් මෙන්දිස් නෙළුම් මල් ඇසුරින් කරන සංකේතාත්මක භාව ප්‍රකාශනය කිසිම විහාර චිත්‍ර සම්ප්‍රදායක දක්නට ලැබෙන්නේ නැත. ඒ සංකේත වෙනත් චින්තන මානයක් වෙත ප්‍රබුද්ධ රසිකයන් රැගෙන යයි. මෙම චිත්‍රාවලිය සිංහලයේ ශිල්ප කලා සම්ප්‍රදාය පිළිබඳ කළ විශිෂ්ටම ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රකාශනයක් වන්නේ ඒ නිසාය.

මෙතෙක් පියවි ඇසින් රිසි සේ නුදුටු සිතුවම් වරුණ

අප පියවි ඇසින් මෙතෙක් නුදුටු මේ චිත්‍රාවලියේ ඇතැම් විශේෂතා පිළිබඳ සිතුවම් ක්ෂුද්‍ර ඡායාරූපගත කළ ප්‍රධාන ශිල්පී අර්ජුන සමරවීරයන් අපට කියයි.

“ අප කැලණි විහාරයේ වර්ග අඩි දහ අට දහසකට වැඩි සිතුවම් තලයේ සෑම අඟලක්ම ඡායාරූපගත කළා. මේ ඡායාරූප සංතතියෙන් සිතුවම්වල සෑම මිලිමීටරයක වෙනස්කමක් විස්තරාත්මකව කියැවෙනවා. සීගිරිය, දෙගල්දෝරුව, තිවංක පිළිම ගේ සිතුවම් අප ක්ෂුද්‍ර ඡායාරූපගත කළා. එහෙත් ප්‍රායොගිකව අතිශයින්ම අසීරු වැඩකොටස යෙදිලා තිබුණේ කැලණියෙ ”

“ කැලණි විහාරයේ සිතුවම් තලය සහිත සමහර බිත්තියක් අඩි 20ක් විතර උසයි. කරඬුව තැන්පත් කරලා ඇති කුටියෙ චිත්‍රය අඩි 60ක් පමණ දිගයි. එම සිතුවම් තනි ඡායාරූපකයකට විස්තරාත්මකව ගන්න බෑ. විකෘතිතා ඇති වෙනවා. ඒක කාචයක වක්‍රතා අරයත් එක්ක තියන ගැටලුවක්. නවීන තාක්ෂණය අනුව කාච කෙළවර ඇති වන එම දෝෂ අඩු කරලා හදපු කාච භාවිතයෙන් තමයි අපි මේ ඡායාරූප සංසතිය ගත්තෙ. එය වෙනම කතා කළ යුතු ව්‍යාපෘතියක්”

“කැලණියෙ සමස්ත බිතු සිතුවම් තලය වර්ග අඩි දහඅට දහසක්. සමහර බිත්තිවල සිතුවම් පියවි ඇහැට දැකගන්න හරිම අමාරුයි. කරඬුව තැන්පත් කරලා තිබුණ කුටියෙ කරඬුව සහ බිත්තිය අතර පරතරය තිබුණෙ අඟල් 10යි. අඩුම තරමින් ඇහැ කෙළින් කැමරාව තියන්නවත් පරතරය මදි. ඒත් එතැන තිබුණෙ අතිශය වටිනා චිත්‍රාවලියක්. අවුරුදු ගණනකින් ඒ සිතුවම් කවුරුත් දැකලා තිබුණෙ නෑ. කවදාවත් ඒ සිතුවමක් ඡායාරූපයට නඟා තිබුණේ නෑ. ඒ සිතුවම් අප මුල්ම වරට විස්තරාත්මකව ඡායාරූපගත කළා. ”

“අනෙක හැම දෙනාම වගේ කැලණියෙ සිතුවම් ගොඩක් දැක්කෙ ඇස් මට්ටමින් නෙමෙයි. පහළ සිටයි ඔවුන් දකින්නේ.

අඩි විස්සකට වඩා උස බිත්තියේ ඉහළම සිතුවම් තලයෙ මට්ටමට ගිහින් බලන්න කාටවත් බෑ. මේ සංරක්ෂණ කාර්යයෙදි මේ සියලුම සිතුවම් ඇස් මට්ටමට ගිහින් බොහොම නිවැරදිව මිම්මක් සහිතව දැකගැනීමේ භාග්‍යය ලැබුණා. මෙතැනදි සෝලියස් මෙන්දිස් කියන මේ විශිෂ්ට සිත්තරා තමන් කළ කාර්යයට මොන තරම් සාධාරණයක් කරලා තියනවද කියන දෙයයි අප මුලින්ම දැක්කෙ.”

“උසකදි සිතුවම් අඳිද්දි සිත්තරා දන්නවා උඩට ඇවිත් මේ සිතුවම් කවුරුත් බලන්නෙ නෑ කියලා. එහෙත් ඔහු මේ සෑම සිතුවමකම අන්තිම දශමයට නිවැරදිව සිතුවම නිමා කරලා තිබුණා. ඔහුගේ සිතුවම්වල හැම රේඛාවකටම ඔහු වගවෙලා තිබුණා.

උසින් ඇති සිතුවම් තලවල නිරූපිත ඇත් රූපවලදි ඇතාගේ ඇසේ තෙතමනයත් මා දැක්කා .

ගස නිර්මාණය කිරීමේදී ඔහු ඔහුටම ආවේණික ලක්ෂණ එක් කර තිබුණා. සෑම සියුම් රේඛාවක්ම ඔහු රූපණය කළා. ගස්වල ලැග සිටින විවිධ පක්ෂීන් පවා ඔහු විසින් චිත්‍රණය කර තිබුණා. ඒවා දකින්න පුළුවන් ඉතා සියුම් නිරීක්ෂණයකදි විතරයි. හේමමාලා හා දන්ත කුමරු සිතුවමේ පිටුපසින් ඇති විශාල ගසෙහි අත්තක බකමූණාගේ රුව උදාහරණයක්. ”

“ඡද්දන්ත ජාතකයේ හස්ති රුව නිර්මාණය කිරීමේ සංයමය ඇත්තටම අපව මවිත කළා. ඒ සදහා සියුම් ඉරි දහස් ගණනක් සඳහා වැය කරලා තිබුණා. ශිල්පියා බලුව උපන් තෝදෙයිය බමුණා සිත්තම් කරන්නෙ තනි සුදු පැහැති සුනඛ රුවකිනි. ඉන් කියැවෙන සංකේතාර්ථ හරිම ගැඹුරුයි.”

“අප දැඩි ලෙස කම්පනය කළ සිතුවම තමයි ඡද්දන්ද ජාතකය නිරූපිත සිතුවම. ඡද්දන්ත කතාවේ සිය බිසවගේ දොළදුක සන්සිඳවන්න ඡද්දන්ත නැමැති බෝධිසත්ව හස්ථියගේ දළ කපන්න අණ අරගෙන යන්නේ සෝනුත්තර කියන වැදි නායකයා.

සෝලියස් මෙන්දිස් මේ අවස්ථාව නිරූපණය කරන දාර්ශනික ආකාරය අපව තිගස්වනු ලැබුවා. ඔහු හස්ථියාට වඳිනවා දළ දෙක කපා ගන්න කලින්. දළ දෙක කපාගන්න සෝනුත්තර වැදි නායකයා අතේ සිත්තරා නෙළුම මලක් තබනවා. දුන්නක් අතින් අරන් බෝධිසත්ව ඇතෙක් මරන්න යන මනුස්සයෙක් අතේ නෙළුම් මලක්.

විශිෂ්ට වාර්තාකරණයේ පුරෝගාමී ශිල්පියා.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවීර

ඒක මහා කතාවක්. හෘද සාක්ෂියට එපිටින් ඇති අණක් ඉටු කරන්න යන පෘතග්ජන මනුෂ්‍යයකුගේ හෘදය සාක්ෂිය මීට වඩා හොඳට මොනම මාධ්‍යයකින්වත් රූපණය කරන්න පුළුවන් දැයි අප තවම කල්පනා කරනවා. ජාතක කතාකරුවා නොදීපු මානුෂික සාධරණත්වය තමයි සෝලියස් මෙන්දිස් සෝනුත්තර වැදි නායකයට දීලා තිබෙන්නේ.”

“රන් පිළිම ගෙයි පිටුපසින් ඇති කොටසේ දෙපසින් වූ කුටි දෙකෙහි පහළ කොටසේ සිතුවම් ඇඳ නෑ. එහෙත් බිත්ති සියුම්ව නිරීක්ෂණය කරන විට සිත්තරා විසින් ඇඳි කටු සටහන් දැකිය හැකියි. එක් තැනක රන් වැටකින් වට වූ ශ්‍රී මහා බෝධිය සිතුවමක් ඇඳීමට ගත් කටු සටහනක් තියනවා. තවත් තැනක එවැනිම ලියවැලක සටහනක්. පුරා වසර පහළොවක් කැලණි විහාරයේ සිතුවම්කරණය වෙනුවෙන් කැප කළ මේ විශිෂ්ට නිර්මාණකරුවා කැලණිය ප්‍රතිමා ගෘහයේ චිත්‍රකර්මය මුළුමනින්ම නිමා කර නැහැ.”

කැලණි විහාර සිතුවම්කරණයත් අවසානයේ පෙන්වා දෙන්නේ ලෝක යථාර්ථය ය. කෙසේ වෙතත් මේ මුනිවර කලාකරුවා කැලණි විහාරයේ බිතු මත බිහි කළ චිත්‍ර සම්ප්‍රදාය අද පවතින තත්වයෙන්ම අනාගතය වෙනුවෙන් සංරක්ෂිතය.

මේ සද්කාර්යය තුළ කැලණි රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ගේ දායකත්වය නමස්කාර පූර්වකව සිහි කරනු වටී. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන ආචාර්ය සෙනරත් දිසානායකයන් හා මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවලයන් මේ පර්යේෂණ කටයුතු මෙහෙයවූ ආකාරය ප්‍රශස්ථය. ශාසන භාරධාරීන් හා පුරාවිද්‍යා ශාස්ත්‍රධාරීන් එක් පැහැර එක්ව රටක් ලෙස අතිශය විරල අවස්ථාවක් උපදවා ඇත.

ඒ අපට අප ගැන සතුටු වීම සඳහාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර රැඳවි කාන්තාවක් දෙහැවිරිදි දරුවාගේ පැම්පස් එක තුළ දුම්කොල සඟවලා…

Next Post

පුෂ්පිකාගේ විවාහ සහතික ලෝක රූ රැජින තරගයට බාරදෙයි

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.