නිවුන් දරු කැකුළු ලෝකයේ මහා චමත්කාරවලින් එකකි. ඒ දරු පැටවු සොබා දහමේ රිද්මය අපූරු තානයකට රැගෙන එන්නේය. ඔවුන් එක්ව ලෝකය දිනාගත් කළ ඒ චමත්කාරය දැනෙන්නේ දේශ සීමා ඉක්මවා ගිය පුදුමාකාර ආශ්වාදයක් දනවමිනි.
පසුගිය 09 වැනිදා ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලය එවැනි ශ්‍රී ලාංකික දියණිවරු දෙදෙනෙක් ගැන සිය වෙබ් අඩවියේ අපූරු සටහනක් තබා තිබිණි. ඒ එකම මොහොතක මෙළොව එළිය දැක එකට හැදී වැඩී එකට ජීවිතය බෙදා ගත් සම නිවුන් දැරියන් දෙදෙනෙක් වශයෙන් ජීවිතය ගෙවා එකම දිනයක වෛද්‍යවරියන් ලෙස උපාධිය ලබාගෙන ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ වයිපාපා ටෝමාටා රාවු හි වෙද්‍ය හා සෞඛ්‍ය වෛද්‍ය පීඨයෙන් පිටවීමේ අසිරිය සම්බන්ධවය.
ජීවිතයේ අප්‍රමාණ කැපකිරීම් සහිතව කළ අධ්‍යාපන ගමනේ ස්වකීය සිහිනයට ලඟා වුන මේ යොවුන් නිවුන් වෛද්‍යවරියන් දෙදෙනා සනුමි රණසිංහ සහ සනුති රණසිංහය.
සනුමි සහ සනුති ඔවුන්ගේ උපාධි ඇඳුමින් සැරසී විශාල මල් පොකුරු දරාගෙන විකසිත සිනාවෙන් යුතුව සිටිනා ඡායාරූප පෙළක් වෙබ් අඩවියේ පළ වී තිබිණි. ඔවුන්ගේ ආඩම්බරකාර පියා ලක්සිරි රණසිංහය. මව අයෝමි හේරත් රණසිංහය. ඔවුන් ද සිය දියණියන් දෙදෙනා සමග ඡායාරූප පෙළෙහිය.

ලක්සිරි නාවික ඉංජිනේරුවරයෙකි. අයෝමි සිය උසස් අධ්‍යාපනය අත්හැර දරුවන් දෙදෙනා වෙනුවෙන් කැපවු මවකි. මූලික අධ්‍යාපනය ලංකාවේදී ලැබීමෙන් පසු සනුමි සහ සනුති අම්මා සහ තාත්තා සමග නවසීලන්තයේ අයෝටෙරෝවා වෙත පදිංචියට පැමිණියහ. ඒ වනවිට දෙදෙනාට වයස අවුරුදු 10කි. ඔවුන් දෙදෙනාගේ ජීවිතය එතැන් සිට ගෙවෙන්නේ නවසීලන්තයේය.
සිය මවු රටින් ගැලවී වෙනත්ම පරිසරයක පැලවීම පහසු නැත. ඔවුන් සිය ගමන පහසුවෙන් පැමිණියා නොවේ. ඕක්ලන්ඩ්හි උතුරු වෙරළේ පාසලේ ජාතිවාදය පිළිබඳ ඉතා සීමිත අත්දැකීම් ඔවුන්ට තිබුණි. ඔවුහු ඒවා අත් වින්දහ. අභියෝග හමුවේ එන පීඩනය ඔවුන් දරාගෙන තිබුණේ එකිනෙකා සමග ජීවිතය බෙදා ගනිමිනි.
“අපට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය නොහැකි බවත් මට ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත නොහැකි බවත් ගුරුවරයෙකු පැවසූ පාසලේ දිනයක් මට පැහැදිලිව මතකයි,” සනුමි කීවාය. “ඒක හරිම අධෛර්යමත් කරවන සුළුයි, නමුත් මම හිතුවා, ‘මම ඒවා වැරදියි කියලා ඔප්පු කරන්නම්’ කියලා.“ ඔවුන් එය සිදුකර තිබිණි.
දියණිවරුන් දෙදෙන සිය අතීත මතක ගැන කළ ආවර්ජන ලිපියේ සටහන් කර තිබිණි. ඒවා ඔවුන් පෑනක් අතට ගෙන තැබූ මුල්ම සටහන් තෙක් දිව ගිය රසවත් කතාය.
“අපේ ගෙදර කොළඹ දුරකථන පොතක් තිබුණා, මම ඒකේ ‘ශල්‍ය වෛද්‍ය සනුමි’ කියලා ලිව්වා, ඊට පස්සේ…” සනුමිට කියන්නට ලැබුණේ නැත. සනුති කතා කළාය.
“මම ‘ශල්‍ය වෛද්‍ය සනුති’ කියලා ලිව්වා. මම මගේ පෑන අතට අරන් ලියූ පළමු දේවල් වලින් එකක් ඒක.” අම්මා ඒ දුරකථන නාමාවලිය සහිත පොත දරුවන් උපාධිය ගත් දිනයේ සිය අත් බෑගයේ දමාගෙන රැගෙන විත් තිබිණි. දරුවන්ගේ හිත්වල හීන උපදින්නේ ඒ තරම් දුරිනි. එහෙත් ඒ සිහින වෙත යෑමට බොහෝ දෙනෙකුට ජීවිත පරිසරිය හැදෙන්නේ ඉතාම හෙමිනි. ඒ අතින් නම් සනුමි සහ සනුති වාසනාවන්ත වී තිබිණි.
වසර 06ක දුෂ්කර වෛද්‍ය පුහුණුව ඔවුන් ලැබුවේ එකටය. සිය විශේෂිත විෂය වූ ප්ලාස්ටීක් සැත්කම් පිළිබඳ හැදෑරීමට මෙල්බර්න්වල සිටියේත් එකම රෝහලක එකටය. මේ වසරේ ඔවුන් දෙදෙනාම ලන්ඩනයේ හැමර්ස්මිත් රෝහලේ සිය වැඩිදුර පුහුණුව ලබා තිබිණි.
“අපි මෙල්බර්න් වල ඉන්නකොට, අපි හැම සතියෙම මේ රෝහලත් කැම්පස් එකත් අතර මාරු වෙමින් හිටියේ. එයාලට අපි දෙන්න වෙන් කරලා හඳුනා ගන්න බැරි වුනා. ඒ නිසා එයාලා හිතුවේ අපි දෙන්නම එක්කෙනෙක් කියලා,” සනුමි කීවාය.
සනුති කතාව පටන් ගත්තාය. “ඉතින් එයාලා මගෙන් අහනවා… ‘පහුගිය සතියේ මම ඔයාට කිව්ව දේ මතකද?’. ඉතින් මම බලනවා මේ මොනවද කියන්නේ කියලා. මම කියනවා ‘නෑ, මම එතන හිටියේ නැහැ. මට මතක නැහැ.’ කියලා. ඉන් පසු ඇතිවන තත්ත්වය ගැන සනුති සිනාවෙමින් කතා කළාය.
මේ දෙදෙනාට මුහුණ දීමට සිදුවූ නරක අත්දැකීම වී තිබුණේ නම්වල සහ ස්වරූපියේ ඇති අතිශය සමානත්වය හේතුවෙන් පරිපාලකයින් මුද්‍රණ දෝෂයක් ඇති බව උපකල්පනය කර දෙදෙනාටම එක් ලේඛනයක් පමණක් ප්‍රතිඵළ ලෙස ඉදිරිපත් කිරීමය. එහිදී නැතිවූ ශ්‍රේණි සහ ඇගයීම් සමඟ කටයුතු කිරීමට දෙදෙනාටම සිදුවීමය.
සියලු අත්දැකීම් එක් කළ විට ලැබූ හොඳ අත් දැකීම් ප්‍රමාණය බෙහෙවින්ම ඉහළය. මේ දියණිවරුන් දෙදෙනා අද ඉහළින්ම පිපී ඇති මල් දෙකක් සේ සුවඳ විහිදුවමින් ඇත්තේය. ඒ අලංකාරය ලෝකයම දකිමින් සිටින්නේය.







