ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 03කින් යුතුව පැවැත්වෙන එක්දින ජ්‍යාතන්තර තරගාවලියේ අද (15) පැවති පළමු තරගයෙන් කඩුළු 06ක විශිෂ්ට ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණඩායම සමත් වූයේය.
තරගය පැවැත්වූයේ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ය.
මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 195කට සිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 95ක් ඉතිරිව තිබිය දි කඩුළු 06ක මනරම් ජයග්‍රහණයක් ලබා ගන්නේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සියලුම ප්‍රාර්ථනා බිඳ දමමින් තරගාවලියේ මුල් වටයෙන්ම විසිවී ගිය පසුබිමකය.
තරගය පෙළ ගැසුනේ මෙසේය.
ලෝක සම්භාවනාවට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරග වැදුන ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරූහ.
මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 47.1 ක දී ලකුණු 195කට සියල්ලෝ දැවී ගියහ.
බටහිර ඉන්දීය කොදෙව් නායිකා හේලි මැතිව්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළාය. ආරම්භක පිතිකාරිණිය වූ ඇය හතරේ පහර 06ක් සමග ලකුණු 38ක් ලැබුවේය. ස්ටෆානි ටේලර් ලකුණු 33කි. ෂේමේන් කැම්ප්බල් ලකුණු 27කි.
පන්දු යැවීමේ දී වමතින් ඕතඩොක් පන්දු යවන සුගන්දිකා කුමාරි ලකුණු 30කට කඩුළු 03ක්,
දකුණතින් දඟ පන්දු යවන කවීෂා දිල්හාරි ලකුණු 41කට කඩුළු 03ක් ලැබුවේය.
අචිනි කුලසූරිය සහ නායිකා චමරි අතපත්තු කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු ඕවර 34.1ක දී ලකුණු 198ක් ලබාගෙන තරගය නිමා කළහ.
ආරම්භක පිතිකාරිණියන් යුගලවන විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ආරම්භක කඩුල් වෙනුවෙන් ලකුණු 88ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූහ. තරගයේ ජයග්‍රහණයට දැමු විශිෂ්ටම පදනම එය ය. විශ්මි ගුණරත්න හතරේ පහර 05ක් සමග පන්දු 51ක දී ලකුණු 40කි. නායිකා චමරී අතපත්තු පන්දු 36ක දී හතරේ පහර 06ක් සමග ලකුණු 38කි.
අංක 03 පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 05ක් සමග පන්දු 53ක දී ලකුණු 44ක් ලැබුවාය. හසිනි පෙරේරා හතරේ පහර 07ක් සමග පන්දු 59ක දී ලකුණු 43කි. පන්දු 95ක් ඉතිරිව තිබිය දී කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට අත් විය.