ක්‍රිඩා ඇමතිවරයාගේ නියෝගය නොසලකා ගවනර්ස් කුසලාන මහා තරඟය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.
ඒ අනුව N.C.C. ක්‍රීඩාංගණයේදී නාරම්මල ක්‍රීඩා සමාජය සහ කළුතර කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර මහා තරඟය හෙට දින (2023.08.30) පැවැත්වෙනු ඇත.
පසුගිය වසරේ ගවනර්ස් කුසලාන තරඟාවලියෙන් පහළ දැමීමට නියමිතව තිබූ කණ්ඩායම් දෙක වූ ඉහත ක්‍රීඩා සමාජ දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පහළ දැමීමට කටයුතු නොකොට 2023 තරඟාවලිය සඳහා අවස්ථාව ලබා දී තිබිණි.
එම කණ්ඩායම් දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකුගේ සහ ඔවුන්ගේ හිතවත්ම පුද්ගලයෙකුගේය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ටියර් බී’ තරගාවලිය සහ ‘ගවනර්ස්’ කුසලාන (ආණ්ඩුකාර කුසලාන) තරගාවලිය නවතා දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබුණේ පසුගිය වසරේ දී එම තරගාවලිය තුළ තමාට වූ අසාධාරණය සම්බන්ධව ගෙස්ටෝ ක්‍රීඩා සමාජය නීතියේ පිහිට පැතීමත් සමගය.
එහිදී ක්‍රීඩා ඇමතිවරයා තීරණය කළේ දිස්ත්‍රික් අධිකරණය අදාළ ගැටලුවට විසඳුම් ලබාදිය යුත්තා ලෙසය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණේ අධිකරණ තීන්දුව මත පදනම්ව තරග සංවිධානය විය යුතු බවය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත උක්ත උපදෙස් ලිඛිතව දන්වා තිබිණි.
එහෙත් අධිකරණය තීන්දුව පැමිණෙන තෙක් තරග අත්හිටුවන ලෙස අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ගවනර්ස් කුසලානය හෙට (30) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.