කොළඹ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින ශ්‍රි ලංකාවේ උසම සුපිරි නිවාස සංකීර්ණය ලෙසින් සැලකෙන අල්ටෙයාර් රෙසිඩන්සීස් හි වැඩ කටයුතු වහා අවසන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදහත් වී ඇති බව අද (08) ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.
ඇලවෙන ගොඩනැගිල්ලක් ලෙස සුවිශේෂී ගෘහ නිර්මාණයකට අනුව නිර්මාණය වූ මෙම සුපිරි නිවාස සංකීර්ණය එහි විදේශගත ප්‍රවර්ධන සමාගම වන ඉන්ඩෝසියන් ඩිවලොපර්ස් සමාගමේ කොටස්කරුවන් අතර පවතින අර්බුදයක් නිසා නියමිත කාලයට වඩා වසර තුනක් ප්‍රමාද වී ඇති අතර මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ බලධාරියකු ලෙස කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති නිමල් පෙරේරා පත් කොට ඇත. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ එය ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් සහ නිමල් පෙරේරා නාගරික සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ කාලයේ දී අනුමත කළ සුවිසල් ආයෝජන ව්‍යාපෘතියක් වීමයි.
මීටර 200කට වඩා උස මෙම ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ කටයුතු සිදු කළේ ලෝකයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන මොෂේ සැෆ්ඩි ය. සිංගප්පූරුවේ සුප්‍රකට මරීනා බේ සෑන්ඩ්ස්, සිංගප්පූරු ගුවන් තොටුපළේ මෑතක දී එක් කරන ලද අංගයන් ඇතුළු ලෝකයේ අමතක නොවන මට්ටමේ නිර්මාණ රැසක් සිදු කළ සම්මානනීය නිර්මාණ ශිල්පියකු වන සෆ්ඩි විසින් සැලසුම් කරන ද මෙම ව්‍යාපෘතිය අති සුඛෝපභෝගී මහල් නිවාස 406කින් සමන්විතය.
මේ වනවිට එයින් සියයට 70ක් පමණ අලෙවි වී ඇති අතර මෙරට මෙන්ම විදේශීය ධනකුවේරයන් එම නිවාස මිලට ගෙන ඇත. එසේ වුවද අල්ටෙයාර් ප්රවර්ධකයන්ගේ සහ ආයෝජකයන්ගේ පවතින අර්බුදයක් නඩුවක් දක්වා ගොස් ඇති අතර මිලදී ගත් පුද්ගලයන්ට ද එය නිසි කලට වැඩ නිම නොවීම මහත් ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් මේ බව ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා මේ කටයුත්තට මැදිහත් වී එය ඉක්මනින් අවසන් කිරීමට අදාළ කටයුතු ප්‍රායෝගික කිරීම සඳහා එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් පෙරෝරා පත් කොට ඇත.