ඇමෙරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර පවතින සටන්විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් දින 60ක අවබෝධතා ගිවිසුමක (MOU) මූලික එකඟතාවකට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, මෙම එකඟතාව මෙතෙක් අවසන් තීරණයක් ලෙස ස්ථිර කර නොමැති අතර, ඒ සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඉරාන රජයේ නිල අනුමැතිය හිමිවිය යුතුව ඇත. මේ දක්වා දෙපාර්ශ්වය විසින්ම මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
‘Axios’ පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමෙරිකානු නිලධාරීන් විසින් මෙම එකඟතාවයේ සියලු විස්තර ජනාධිපති ට්‍රම්ප් වෙත දැනුම් දී තිබේ. ඔහු මෙතෙක් ඊට සිය අවසන් අනුමැතිය ලබා දී නොමැති අතර, ඒ පිළිබඳව තීරණයක් ගැනීමට දින කිහිපයක කාලයක් ඉල්ලා ඇත. එමෙන්ම ඉරාන පාලනය ද මෙතෙක් මෙහි කොන්දේසි නිල වශයෙන් පිළිගෙන නොමැති බව වාර්තා වේ.
අවබෝධතා ගිවිසුම් කෙටුම්පතේ ප්‍රධාන කරුණු:
- පවතින සටන්විරාමය දින 60ක කාලසීමාවකට දීර්ඝ කිරීම (දෙපාර්ශ්වයේම එකඟතාව මත මෙය තවදුරටත් දීර්ඝ කළ හැක).
- ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිල සාකච්ඡා ආරම්භ කිරීම.
- න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බවට ඉරානය විසින් පොරොන්දු වීම.
- මූලික සාකච්ඡාවලදී ඉරානය සතු ඉහළ ප්‍රතිශතයකින් පොහොසත් කරන ලද යුරේනියම් (Highly enriched uranium) තොග සහ ඔවුන්ගේ යුරේනියම් පෙහොසත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු පියවර කෙරෙහි අවධානය යොමු කිරීම.
මෑතකදී හටගත් දරුණු ගැටුම් මාලාවෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තැබූ විශාලතම පියවර මෙය ලෙස සැලකේ. කෙසේ වෙතත්, න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් සම්පූර්ණ අවසන් එකඟතාවකට පැමිණීම සඳහා ඉදිරියේදී තවදුරටත් ඉතා සවිස්තරාත්මක මෙන්ම අසීරු සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සිදුවනු ඇත.
මාස කිහිපයක් තිස්සේ පැවැති දැඩි නොසන්සුන්කාරී වාතාවරණයෙන් සහ ඉතා බිඳෙනසුලු මට්ටමක පැවැති සටන්විරාමයකින් අනතුරුව මෙම නවතම සාකච්ඡා වටය ආරම්භ වී තිබේ.
නැව් ගමනාගමනය සහ ලෝක තෙල් වෙළෙඳාම වෙනුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම ඇතුළු තීරණාත්මක කරුණු රැසක් මෙම සාකච්ඡාවලට පාදක වී ඇත.
මෙම වාර්තාත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත වනු ඇතැයි යන බලාපොරොත්තුව මත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටීමට පටන් ගෙන තිබේ. ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයේ අවසානය ආසන්න බවයි.
එහෙත් බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් තවමත් මෙම සාකච්ඡා පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි. එමෙන්ම සම්බාධක ලිහිල් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය මෙතෙක් සාකච්ඡා කර නොමැති බවද ඔහු පැවසීය. සම්බාධක ලිහිල් කිරීම ටෙහෙරාන් පාලනයේ ප්‍රධාන ඉල්ලීමකි.







