රට තුළ පවතින ආපදාකාරී තත්ත්වයෙන් පසු සාමාන්‍ය ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බ්‍රහස්පතින්දා (28) දින මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, සමුපකාර සමිති සහ ඒවායේ ශාඛා මගින් සපයනු ලබන සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රධාන ක්ෂේත්‍ර:
- බලශක්ති සහ ප්‍රවාහන: විදුලි බල සැපයුම, ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම, පොදු ප්‍රවාහන සේවා මෙන්ම මාර්ග සහ දුම්රිය සේවා.
- සෞඛ්‍ය සහ සන්නිවේදන: රෝහල් සහ සෞඛ්‍ය සේවා, ගිලන්රථ සේවා, විදුලි සංදේශ සහ මාධ්‍ය සේවා.
- යටිතල පහසුකම්: ගුවන් තොටුපළ සහ වරාය මෙහෙයුම්, ජල සම්පාදන හා ජලාපවහන සේවා.
- දෛනික ජන ජීවිතය: ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා.
- පළාත් පාලන සහ පරිසර: පළාත් පාලන ආයතන මගින් සිදු කරනු ලබන සනීපාරක්ෂක හා අපද්‍රව්‍ය කළමනාකරණ සේවා, වාරිමාර්ග සේවා මෙන්ම ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සේවා.
ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ද අත්‍යවශ්‍ය සේවා ගොන්නට!
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර ඇතුළු අනෙකුත් සියලුම ක්ෂේත්‍ර මට්ටමේ රාජ්‍ය නිලධාරීන් විසින් ඉටු කරනු ලබන සේවාවන් ද මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව කෘෂිකාර්මික හා කෘෂි රක්ෂණ සේවාවන් ද මීට ඇතුළත් වේ.








