උපයනවිට ගෙවීමේ බද්දේ සංශෝධනයක් අනිවාර්යයෙන්ම ලබන මාර්තු මස ඉදිරිපත් කරන නව ආණ්ඩුවේ අයවැයෙන් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. එම සංශෝධනය අනුව ඉහළ වැටුපක් ලබා ගන්නා අයට අඩු ප්‍රතිශතයකිනුත්, පහළ වැටුපක් ලබගන්නා අය සඳහා වැඩි ප්‍රතිශතකයකිනුත් ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඊයේ (06) සිරස රූපවාහිනියේ සටන දේශපාලන වැඩසටහන සමග එක් වූ ජනාධිපතිවරයා පැහැදිලි කළේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් නොවී තමන් පොරොන්දු වූ ආකාරයට බදු සම්බන්ධව සංශෝධන කිරීම සිදුකරන බවය. ජනාධිපතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වූ ආකාරයට භාණ්ඩ කීපයක බදු අඩු කිරීම සම්බන්ධව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග සිය ආර්ථික කණ්ඩායම සාකච්ඡා කළ බව කී ජනාධිපතිවරයා ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගත යුත්තේ ජනතාවට ජීවත්වීමේ හිමිකම ලබාදෙමින් බවය. එසේ නොමැතිව ලබා ගන්නා ආර්ථික ඉලක්ක ඵලදායී නොවන බවය.
එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙසකරුණු දක්වමින් මෙසේ පැවසුවේය.
“අප හැමදෙනාම ජීවත් වීමට සරිලන ආර්ථිකයක් නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. අපට ආණ්ඩුව ලැබෙන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට පැමිණුනන පාලනයක්. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් අපට හික්මීමකට පත් කරන ලද පරාමිතීන් ගණනාවක් අපට දීලා තියනවා.
එහි එකක් තමයි 2025 වසරේ දී අපේ ජාතික ආදායම දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් දක්වා ඉහළ දැමීම. මේ අවුරුද්දේ 13.8යි. ලබන අවුරුද්දේ අපි සියයට 15ක් අපේක්ෂා කරනවා
ලබන අවුරුද්දේ අතිරේක වශයෙන් දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 1.2ක් අවශ්‍යයයි. ඒ ප්‍රෝග්‍රෑම් එකේ යනවා නම්. දෙවැනි එක අපට තියනවා 2025 දි අපේ ප්‍රාථමික ගිනුමේ ධන ශේෂයක් 2.3ක තබාගන්න. ඒ තමයි 2025 වසරේ අපට තියන ආසන්නම ඉලක්ක අප විසින් සම්පූර්ණ කළ යුතු. ඒ වගේම 2032 දී අපි ණය බර සියයට 95 දක්වා අඩු කරගත යුතුයි. මේ වගේ පරාමිතීන් ගණනාවක් යටතේ තමයි අපි වැඩ කරන්නේ.
එතකොට අපට පාරවල් දෙකක් තියනවා. එකක් තමයි ඒ පරාමිතීන් නොසලකා හැර මේ වැඩසටහනෙන් එළියට ඇවිත් පාලනය කරන එක. දෙවැනි එක අපට තියනවා මේ වැඩසටහන ඇතුළෙ ඉඳිමින් වඩාත් යහපත් දිසාවට ක්‍රියාමාර්ග තෝරා ගන්නා එක.
මම හිතනවා අපේ රටේ ආර්ථිකයට මේ මොහොතේ දී එළියට එන්න බෑ. මොකද එවැනි විශාල කම්පනයක් අපේ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ. ප්‍රෝග්‍රෑම් එකට ඇතුළු වෙන්න කලින් අපට තිබුණා නම් අපට වෙන සාකච්ඡා තිබුණා. දැන් අප වැඩසටහන ඇතුළේ ඉන්නෙ
අපේ රටේ ආර්ථිකය ඉතාම සිහින් රේඛාවක තියෙන්නේ. අපට ලොකු කම්පනයක් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ. ඒ නිසා අපි මේ වැඩටහන තුළ යා යුතුයි. ඒ නිසා අපට 2025 දි අයවැය ලේඛණය සකස් කරනකොට අපි අභියෝගයකට මුහුණ දෙනවා. දැන් අපට තියෙන්නේ 13.8යි… අප එය 15 දක්වා වැඩි කළ යුතුයි. අමතර 1.2ක් උපයා ගත යුතුයි.
එතකොට මේ 13.8 ලැබෙන්නේ මේ උපයනවිට ගෙවීම බද්දට ඇතුළත්ව. ඒකෙ යම් සංශෝධනයක් කරනවා නම් ඒ අයින්වන මුදලත් අප උපයා ගත යුතුයි. ඒ වගේම අපි සමහර භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කිරීම ගැන ජනතාවට පොරොන්දුවක් දීලා තියනවා. ඒකත් අප ඉවත් කරගන්නවා නම් අර 1.2ට වඩා වැඩි ආදායමක් අපි උපයා ගත යුතුයි. ඕක තමයි තියන අභියෝගය.
ඒ වගේම අප තේරුම් ගත යුතු වෙනවා අප ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගත යුතු වන්නේ ජනතාවට ජීවත් වීමත් උරුම කරමින්. ජීවත් වීම අහිමි කරලා ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගෙන වැඩක් නෑ. ඒ නිසා අපි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපේ නිලධාරීන් වොෂින්ටන් ගිහින් සාකච්ඡා කළා. 14 වැනිදා ඔවුන් ලංකාවට එනවා. ඒ නිසා මම විශාල බලාපොරොත්තුවක් තියනවා. PAYE ටැක්ස් එකේ අනිවාර්ය යහපත් සංශෝධනයක් ඇති කරලා දෙනවා. මේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ ඒ සහනය ලැබෙනවා. PAYE ටැක්ස් එක වගේම භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
පෙබරවාරි අග සහ මාර්තු මුල වනවිට අලුත් අයවැය ලේඛනයක් සම්මත කරගැනීමේ බලාපොරොත්තුවක් තියනවා. මාර්තු පඩියෙන් PAYE ටැක්ස් එකේ ඒ සහනය ජනතාවට ලැබේවි. යමෙකුගේ වැටුප අඩු තලයක නම් සහනයේ ප්‍රතිශතය වැඩියි. වැටුප ඉහළ තලයක තියනවා නම් ප්‍රතිශතය අඩුයි. ජනාධිපතිවරයා පැහැදිලි කළේය.







