කළුතර දකුණ, වෙට්ටුමකඩ (පල්ලි පාර) ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ ඉලක්කගත වෙඩි තැබීමකින් සිදුකළ ඝාතනයට අදාල සී.සී.ටී.වී දර්ශන මේ වනවිට මාධ්‍යයට මුදා හැර තිබේ.
අද මේ හඳුනා නොගත් ඝාතකයෙක් විසින් මේ අයුරින් අයුරින් වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
අද උදෑසන 8:59 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වින්දිතයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මග අයිනේ නවතා තිබූ මෝටර් රථයක් මාර්ගය හරස් කර යතුරු පැදිකරු සිය යතුරු පැදිය නැවැත් වූ පසු වාහනය තුළ සිටම වෙඩි තබා ඔහුව ඝාතනනය කරන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ය.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත්, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සිදුවන ආකාරය අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවල ඉතාම පැහැදිලිව දක්නට ඇත.
ඝාතනය වුනේ කවුද?
පොලිස් වාර්තා සනාථ කරන පරිදි මෙලෙස ඝාතනය වී ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු එම ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් ගව මස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූවෙකු බව ද සඳහන් වේ. ඔහු පකික් මොහොමඩ් මොහොමඩ් ෂෆික් නැමැති පුද්ගලයෙකි
මූලික විමර්ශනවලදී ලැබුණු තොරතුරුවලට අනුව මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් නිසා සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
අපරාධයට වාහන දෙකක්
පොලිස් විමර්ශනවලට අනුව ඝාතකයන් විසින් මෙම අපරාධය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වාහන දෙකක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරුවන් මුලින්ම පැමිණ ඇත්තේ සුදු පැහැති වෑන් රථයකිනි. පසුව ඔවුන් වෙඩි තැබීම සිදු කිරීම සඳහා මෝටර් රථයකට මාරු වී ඇත.
අපරාධයෙන් පසු පළාගිය සැකකරුවන් විසින් ඔවුන් පැමිණි සුදු පැහැති වෑන් රථය දොඩංගොඩ ප්‍රදේශයේ (කළුතර – මතුගම මාර්ගයේ) දහවල් කාලයේ දී අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. එමෙන්ම, වෙඩි තැබීම සඳහා භාවිත කළ මෝටර් රථය ද තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල (නෑබඩ ප්‍රදේශයේ) අතහැර දමා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් අනුයුක්ත කර තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. කාර්යබහුල ප්‍රදේශයක මහදවල් සිදුවූ මෙම වෙඩි තැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිති.
පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.







