ලලිත් චාමින්ද –
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2025 වර්ෂය තුළ හිඟ බදු මුදල් වශයෙන් රුපියල් බිලියන 2,164ක දැවැන්ත මුදලක් අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළව එකතු කළ යුතුව තිබූ රුපියල් බිලියන 2,164ක මෙම හිඟ ආදායම එකතු නොකර, හිඟ හිටවා තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. එම ආදායම 2025 වර්ෂයේ දී අය කරගැනීමට සමත් වූයේ නම්, එම වර්ෂයේ අයවැය හිඟය සම්පූර්ණයෙන්ම අඩු කරගැනීමට (පියවා ගැනීමට) හැකිව තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු අය කරගැනීමේ ප්‍රමාදයට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) පවතින අඩුපාඩු, හිඟ බදු අභියාචනා ක්‍රියාවලියේ පවතින දීර්ඝකාලීන භාවය සහ හිඟ බදු අය කරගැනීමට අදාළව අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂී වූ අධිකරණ පද්ධතියක් ස්ථාපිත වී නොතිබීම යන හේතු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු අයකරගැනිමේ ප්‍රමාදයට බලපා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.









