“Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD” යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති පුවත අසත්‍ය සහ නොමඟ යවනසුළු එකක් බව පවසමින් රජය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි.
රජය අවධාරණය කරන්නේ මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා (Jay Shah) අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව මෙලෙස සිතාමතාම විකෘති කර දක්වා ඇති බවයි.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව පමණක් බව රජය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාම සිය X (ට්විටර්) ගිණුම් ඔස්සේ නිල වශයෙන් මේ බව තහවුරු කර තිබේ.
එහිදී කිසිදු අවසාන නිවේදනයක්, ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාළ කිසිදු කරුණක් සාකච්ඡා වී නොමැති බවත්, එවැනි කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් රජය නිල වශයෙන් දැනුම් දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ICC සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වන බව රජය පවසයි.
එම නිසා අදාළ අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවැරදි කිරීමේ නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.









