බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලා භූමියේ කාර්යාල පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය තුළ අද (20) රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක වංචාවක් සිදුකළ පුද්ගලයෙක් සම්බන්ධව මේ වනවිට විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
කෝටිපති වාහන ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් පසුගිය 11 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලා භූමියේ පිහිටි කාර්යාල පරිශ්‍රයෙන් කාර්යාල කුටි දෙකක් වෙන් කරගෙන තිබේ.
මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ කෝටිපති වාහන ව්‍යාපාරිකයෙක් ලෙසය. බදුල්ලේ ලිපිනයය පදිංචි 51 හැවිරිදි මේ තැනැත්තා කාර්යාල පරිශ්‍රයේ කටයුතු ආරම්භ කිරීමත් සමග විශේෂ සේවක පිරිසක් ද බඳවාගෙන ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.
ඔහුගේ පළමු ව්‍යාපාර කටයුත්ත වී ඇත්තේ ජිප් රථ දෙකක් අලෙවි කිරීමය. වෙළෙඳපළේ කෝටි හයකට වඩා වටිනාකමකින් යුතු ජිප් රථ දෙක සම්මන්ත්රණ ශාලා රථ ගාලේ තිබී ඇති අතර වාහන දෙක මූලිකව පරීක්ෂා කිරීමට මීට පෙර දිනක ගැනුම්කරුවන් දෙදෙනෙක් පැමිණ ඇත. වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගනුදෙනුවට එකඟ ඔවුන් අද වාහන දෙක කෝටි හතර හමාරක අත් පිට මුදලට මිලදී ගැනීමට පැමිණ තිබේ. ගැනුම්කරුවන් දෙදෙනා කොළඹ 15 සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකි.
ව්‍යාපාරිකයා ගැනුම්කරුවන් සුහද ලෙස පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරිම සඳහා සේවකයින්ට උපදෙස් දී මුදල් සහිත බෑගය සේප්පුවට දමා එන්නට යැයි පවසමින් කාර්යාලය ඇතුළට ගොස් ඇත. ඒ වනවිට වෙලාව පස්වරු 12ට පමණ ඇති බව පැවසේ.
අනතුරුව පැය දෙකක් පමණ ගැනුම් කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයා කාර්යාල කාමරයෙන් එළියට එන තුරු බලාගෙන ඉඳ තිබේ. ඔහු නැති තැන ගැනුම් කරුවන් කාර්යාල කාමරයට ගොස් බලන විට ඔහු එහි සිට නැත.
අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටි පුද්ගලයා කෝටි හතර හමාරක මුදල ද රැගෙන පලා ගොස් ඇති බවය. අලුතින් බඳවාගෙන සිටි කාර්යාල සේවකයින් සහ ඔහුගේ ආරක්ෂකයින් ලෙස සේවය කළ පුද්ගලයින් ද මේ තැනැත්තාගේ කිසිම තොරතුරක් දැනගෙන සිට නැත.
අනතුරුව සිද්ධිය සම්බන්ධව ගැනුම් කරුවන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අවස්ථාවේ දී හෙළි වී ඇත්තේ මෙම ජිප් රථ දෙක අන්තර්ජාලයේ අලෙවි කිරීමට දමා තිබුණ රථ දෙකක් බවය. වාහන දෙක හිමිකරුවන් නියම කළ මිලට වඩා වැඩි මිලකට මිලදී ගැනීමේ පොරොන්දුව මත ව්‍යාජ ව්‍යාපාරිකයා එම වාහන බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාභූමියට ගෙන්වා රථ ගාලේ දින දෙකක් නවත්වා තබාගෙන ඇති බවය.
වාහන හිමියන්ට අත් පිට මුදලට වාහන මිලදී ගන්නා පොරොන්දුව මත වාහන ගෙන්වාගෙන වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුට එම වාහන පෙන්වා ඔවුන් රවටා ඔවුන්ගේ කෝටි හතර හමාරක මුදල රැගෙන මෙම පුද්ගලයා පලා ගොස් ඇති බව විමර්ශන අංශ කියයි.
කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







