නිමන්ති රණසිංහ –
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවලෙගේ මරණයට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණ නිලධාරියා වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (26) නියෝග කළේය.
මරණකරුගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීම සඳහා අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබූ අතර, එම වාර්තා මෙතෙක් නොලැබීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රමාද වී ඇතැයි බම්බලපිටිය පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම වාර්තා මෙතෙක් අධිකරණයට නොලැබීම හේතුවෙන් මරණකරුගේ මරණයට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කළ නොහැකි වී ඇති බව ද අධිකරණයේදී කරුණු හෙළිවිය.
ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්නත්, ඔහු යටතේ සේවය කළ සේවක සේවිකාවන් කිහිප දෙනකු ඇතුළු අට දෙනකුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලදි.
ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවෙයි.
ලලිත් කොතලාවල යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපොළ අත්පත් කරගෙන ඇති බවත් ඒ සඳහා ඔහුව අංක 13, ඩික්මන් පාර, නිවෙසේ තබාගෙන සිටි බවත් ෂෙරින් පේෂන් විජේරත්න යන අය අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් සඳහන් කළාය.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 21 වැනිදාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය අතර ඒ වන විට ඔහු 84 වැනි වියෙහි පසුවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.- දිනමිණ







