රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (26) සිට යළිත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මෙම වර්ජනය ප්‍රධාන අදියර පහක් ඔස්සේ ක්‍රියාත්මක වන බව එම සංගමය නිල වශයෙන් දැනුම් දී තිබේ.
- රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ පිටින් ලබා ගැනීම සඳහා නිර්දේශ කරන තුණ්ඩු ලබා නොදීම
- රෝහල් පද්ධතිය තුළ නොමැති රසායානගාර පරීක්ෂණ පිතට රසායනාගාර වෙතින් සිදුකරගැනීමට නිර්දේශ සහිත තුණ්ඩු නිකුත් නොකිරීම
- දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සපයන්නට නොහැකි නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට ඉඩ නොදීම
- රෝහල්වල පවතින සායනවලට අමතරව දේශපාලන අවශ්‍යතාමත පවත්වන සෞඛ්‍ය කඳවරු සහ සායනවලට රජයේ වෛද්‍යවරුන් යොමු නොකිරීම
- රෝගියෙක් පරීක්ෂා කිරීමේ දී වෛද්‍ය සහායකයෙක් නැති කිසිම අවස්ථාවක ඒ රෝහල්වල රාජකාරි නොකර ඉවත් වීම එම අදියර 05 වේ.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රජය සමඟ මීට පෙර පැවති සාකච්ඡාවලදී එකඟ වූ කරුණු නිසි පරිදි ඉටු නොවීම මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවය.
වර්ජනය ක්‍රියාත්මක වුවද, හදිසි ප්‍රතිකාර සේවා, මාතෘ රෝහල්, ළමා රෝහල් සහ පිළිකා රෝහල් වැනි අත්‍යාවශ්‍ය අංශවල සේවාවන් බිඳවැටීමකට ඉඩ නොතබන බව සංගමය අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, සාමාන්‍ය බාහිර රෝගී අංශ (OPD) සහ සායනික කටයුතුවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට රජය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
සංගමය විසින් රෝගී සත්කාරක සේවා සැලකිල්ලට ගෙන පහත රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත:
- සියලුම මාතෘ රෝහල් (Maternity Hospitals).
- සියලුම ළමා රෝහල් (Children’s Hospitals – උදා: රිජ්වේ ආර්යා ළමා රෝහල).
- සියලුම පිළිකා රෝහල් (Cancer Hospitals – උදා: අපේක්ෂා රෝහල).
- වකුගඩු රෝහල් (Kidney Hospitals).
- ත්‍රිවිධ හමුදා රෝහල්.
- ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (Angoda).
මීට අමතරව, ඕනෑම රෝහලක හදිසි ප්‍රතිකාර ඒකක (ETU), දැඩි සත්කාර ඒකක (ICU) සහ ජීවිතාරක්ෂක සැත්කම් සඳහා වෛද්‍යවරුන් සහාය දක්වන බව දන්වා ඇත.
මෙම ක්‍රියාමාර්ගය නිශ්චිතව අවසන් වන දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, වෛද්‍යවරුන් පවසන්නේ රජය විසින් ලිඛිතව පොරොන්දු වූ එකඟතා ක්‍රියාත්මක කරන තෙක් සිය විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.







