ලබන සිකුරාදා ට පෙර රජය ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරන ලද මිල ගණන්වලට සහල් සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට මේ රටේ ඕනෑම තැනකින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි තත්ත්වයට පත් කිරීමට මේ වනවිට රජය කටයුතු කරගෙන යන බව පාරිභෝගික ආරක්ෂාව සහ සමුපකාර කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
අද දින පැවති හදිසි නීතිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පරිභෝගික අධිකාරිය පිළිබඳව පනතකට අනුව පියවර ගැනීමෙන් ප්‍රායෝගිකව ජනතාවට සෙතක් සැලකෙන පසුබිමක් පෙනෙන්නට නොමැති බැවින් මෙලෙස මහජන ආරක්ෂක පනත භාවිත කරමින් ජනාධිපතිවරයාට එම පනතට අනුකූලව කටයුතු කිරීමට ඇති හැකියාව භාවිත කරමින් එම සහන සලසා දීමට රජය පියවර ගත් බවය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
මෙම පාරිභෝගික අධිකාරිය පිළිබඳව පනතත් සාපේක්ෂව අලුත් එකක්. 2009 වසරේ සිට මේ දක්වා පාරිභෝගික අධිකාරියේ නඩු 35000ක් විතර පනවලා තිබෙනවා. ඒත් එම නඩුවලින් බොහෝ විට සිදුවන්නේ රුපියල් 2500ක දඩයක් ගැසීම. ටිකක් වැඩි අවදානයක් යොමු කළ හැකි එක නඩුවයි තිබෙන්නේ ඒ 1998 දී මීලමුව අධිකරණයෙන් දුන් දඬුවමක්. එයින් මෙම වයාපාරිකයකුට මාස 3ක සිරදඬුවම්ක් පනවා තිබෙනවා. ඊට අමතරව සමාගම් කිහිපයක ලක්ෂයක දෙකක දඩ ගහල තිබෙනවා. පාරිභෝගික අධිකාරිය පනතේ බැලූබැල්මට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට නිති තිබෙනවා වගේ පේනවා. නමුත් ප්‍රායෝගික තත්ත්වය වෙනස්.
සමාගම් කිහිපයක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් තිබෙනවා අභියාචනාධිකරණයේ නඩු කිහිපයක්ම තිබෙනවා. ඉදිරියට යන්න බැරි මට්ටමක අපි ඉන්නවා. පාරිභෝගික අධිකාරියේ තිබෙන නීති උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරල කරන්න හැකි දෙයක් නෑ.
ඒ නිසා අප මේ වනවිට පාරිභෝගික අධිකාරිය පනතට අලුත් නීති ගෙනවිත් තිබෙනවා. ඒවා සම්මත කර ගන්නා තෙක් අපට ජනතාවට සහන ලබා දීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රමයක් අවශයයි යයිද පැවසීය.