වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙරට භූමියේ ඕනෑම තැනක සැක සහිත අවස්ථාවකදී ඕනෑම පුද්ගලයකු , වාහනයක් හෝ නිවසක් පරීක්ෂා කිරීමේ බලය හිමිවන බවත් ඊට අවනත නොවන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව සංඥය වරදක් ලෙස අත්අඩංගුවට ගැනීමට පවා ඔවුන්ට බලය හිමිවන බවත් ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.
වන ජීවී ආඥා පනතේ 66 වැනි වගන්තියට අනුව ඔවුන්ට මෙම බලය හිමිවන බවත් එය මඟ හැරීමට යුද හමුදාවට හෝ වෙනත් කිසිදු ආයතනයකට විශේෂ මුක්තියක් මෙම පනතින් හෝ මේ රටේ ක්‍රියාත්මක වන වෙනත් කිසිදු පනතකින් බලය ලැබී නොමැති බවත් ආචාර්ය ගුණවර්ධන තවවදුරටත් පෙන්වා දෙයි.
ආචාර්ය ගුණවර්ධන මේ අදහස් පළ කළේ පෙරේදා (25) රාත්‍රි හබරණ ප්‍රදේශයේදී අලි පැටියකු පැහැරගෙන යාමේ උත්සාහයක් ඇති බවට ලද තොරතුරක් මත රැකවල් රාජකාරියේ යෙදී සිටි වන ජීවී නිලධාරීන් පිරිසකගේ සංඥා නොතකා ගිය යුධ හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
අනුරාධපුරයේ මෙහෙයුම් නිලධාරියා තමන් බවත් තමන් මේජර් ජනරාල් මොහාන් රත්නායක බවත් සඳහන් කර ගන්නා එම හමුදා නිලධාරියා ඇතුළු කණ්ඩායම තමන් නැවැත්වීමට උත්සාහ ගත් වන ජීවී නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන බලහත්කාරයෙන් පැහැර ගැනීමේ සිදුවීමක් සිදුවූ අතර එහිදී අදාළ මේජර් ජනරාල්වරයා පවසා තිබුණේ “උඹලට බෑ හමුදාව නවත්වන්න. මේ ආමි එකේ තියෙන සිස්ටම් එක. පොලිසිය නතර කළොත් අපි නතර කරනවා. උඹල වගේ නෙවේ අපි. අපි නවත්වන්න…. උඹල වගේ එවුන් වාහන නැවැත්තුවට අපි නතර කරනවද? යනුවෙන් ප්‍රකාශ කොට තිබේ. ( මේ හඬ පට දැන් සමාජ මාධ්‍යවලද පැතිර යන අතර එහි පවතින අසභ්‍ය වචන භාවිතය හේතුවෙන් අපි එය පළ කිරීමෙන් වළකිමු).
මේ පිළිබඳව තවදුරටත් තම අදහස් දැක්වූ නීතීඥ ආචාර්ය ගුණවර්ධන සඳහන් කළේ වන ජීවී ආඥා පනත ද රටේ නීතියක් වන අතර එයට රටේ පුරවැසියකුම එම නීති රැකීමට මෙන්ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට රජයේ වගකිව යුතු නිලධාරීන් සේම සෑම පුරවැසියකුම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවය.