දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19 ) යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබේ.
හිටපු මන්ත්‍රීවරයා ගත වූ කාලයේ පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඔහු පක්ෂයේ වගකීම් වලින් ඉවත් වී කාලයකට හුදෙකලාව විසීමට තීරණය කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණි.
ඉන් පසුවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂයේම පිරිසක් අධිකරණයට පවා ගොස් සිටි අතර ඔහු ඒ සෑම සිද්ධියකින්ම දැඩි ලෙස කම්පාවට පත්ව සිටියේය.
මේ තත්ත්වය මන්ත්‍රීවරයාගේ හදිසි අසනීප තත්ත්වයට හේතුව බව එම පක්ෂයේ කීප දෙනෙකුම යාපනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණි.
කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිටි දැඩි අසනීප තත්ත්වයෙන්ම තවමත් සිටින බව යාපනය පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.







