කුරුණෑගල වැහැර බණ්ඩාරනායක විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනෙකු පමණ අපයෝජනයට ලක් කළ බව කියන එම විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු සේවය අත් හිටුවා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.
ළමා අපචාර චෝදනා ලබා අත් අඩංගුවට ගත් පසු ඇප පිට නිදහස් කර තිබුණේ මාවතගම, අඹකොටේ, රන්ගලගම පදිංචිකරුවකු වන රාජසිංහ නමැති 55 හැවිරිදි ගුරුවරයෙකි.
සැකකරු විවාහක දෙදරු පියකු බව වාර්තා වේ.
සැකකාර ගුරුවරයා තම දරුවන්ට ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම පොලිසිය අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කළේ සැකකරු දඬුවම් මාරුවක් ලැබ මීට මාස තුනකට පමණ ඉහත දී මෙම පාසලේ සේවය සඳහා පැමිණි ඇති බවය.
ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න සැකකරුට දැඩි ඇප කොන්දේසි නියම කරමින් නඩු කටයුතු අවසාන වන තෙක් එම පාසල වෙත ඇතුළු වීම ද තහනම් කලේය.
මෙම සිදුවීමේ දී එම පාසලේ විදුහල්පතිවරයා ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද බරපතල ප්රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබෙන හෙයින් ඔහු එම තනතුරෙන් ඉවත් කර අද (14) දින සිට කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සංචිතයකට යොමු කර තිබේ.