ලලිත් චාමින්ද –
කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ පොහොර ලේකම් කාර්යාලයේ අධික්ෂණ දුර්වලතා හේතුවෙන් සහනාධාර පොහොර ආනයනය කිරිම වෙනුවෙන් ආනයනික පොහොර පිරිවැයට අමතරව රුපියල් එක් දහස් හය සිය විසිහත් කෝටියකුත් අනුහය ලක්ෂ, පනස් දෙදහස්, අටසිය පනස් හතක (16,279,652,857) මුදලක් 2023 වර්ෂයේ දී අමතර ණය පොලී වශයෙන් වැයවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
සහනාධාර පොහොර ආනයනය කිරීමේ දී දැරිය යුතු මුදල් කෙටි කාලීන බැංකු ණය මගින් සැපයුම්කරුවන්ට ගෙවිම් කර එම ණය නියමිත කාලය තුළ නොපියවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ හේතුවෙන් මෙම ණය මුදල දිගුකාලින ණයවලට පරිවර්තනය විම හේතුවෙන් ආනයනික පොහොර පිරිවැයට අමතරව විශාල පිරිවැයක් ණය පොලී වශයෙන් දැරිමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වර්ෂයේ (2023) පොහොර සඳහා වන ප්‍රතිපාදන යටතේ සීමාසහිත ලංකා පොහොර සමාගම ලබාගත් ණය වෙනුවෙන් දරා ඇති අමතර පොලී වියදම රුපියල් නවසිය අසු කෝටි, හතලිස් ලක්ෂ, අසු හය දහස් එකසිය දාහතර (9,804,086,114)කි. එමෙන්ම කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ලබාගත් ණය වෙනුවෙන් ගෙවා ඇති අමතර පොලී වියදම රුපියල් හයසිය හතලිස් හත් කෝටි, පනස් පන් ලක්ෂ, හැට හය දහස්, හත්සිය හතලිස් තුනකි (6,475,566,743)
එමෙන්ම රජයේ පොහොර සමාගම් දෙක යටතේ රුපියල් තුන්සිය හැත්තෑ දෙකෝටි, තිස් ලක්ෂ, හෑත්තෑ දෙදහස්, අටසිය පනස් නවයක (3,723,072,859) උපචිත පොලි වටිනාකමක් දිගුකාලින ණයට පරිවර්තනය කිරිමේ දි ඒ තුළට ඇතුළත් කර තිබුණි.
ඒ හේතුවෙන් පොලිය මත පොලියක් ගෙවමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
සහනාධාර පොහොර ආනයනය අධික්ෂණය සහ ඒ වෙනුවෙන් දැරිය යුතු මුදල් නිසි වෙලාවට මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර පියවිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ රාජ්‍ය පොහොර සමාගම් විසින් කල් පිරුණු ණයවර ලිපි සදහා මහජන බැංකුව වෙත ගෙවිය යුතු වටිනාකම කාලීන ණය මුදල් බවට පත්කිරීම යන අමාත්‍ය මණ්ඩල තිරණය පරදි මෙම තිරණය ගෙන ඇති බවය.







