ඉකුත් දින කිහිපය තුළ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ දී රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මිය ගිය එක් පුද්ගලයෙක් වයස අවුරුදු 50 ක් වන වරෙන්තු පිට සිටි අයෙකි. ඉකුත් දොළොස් වැනි ඉරිදා දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දුම්බර බෝගම්බර බන්ධනාගාරයට යොමුකොට තිබේ. ඔහු දහතුන් වැනි දින මියගොස් ඇත.
බන්ධනාගාර නිලධාරීන් පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ මෙම පුද්ගලයා බන්ධනාගාරය තුළ ඇද වැටී සිටි බවය. ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ද ඒ වන විට ඔහු මියගොස් සිටි බවද බන්ධනාගාර නිලධාරීන් පොලිසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි
ඒ අනුව දාහතර වැනි අඟහරුවාදා දින නුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිවසුබ්‍රමනියම් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මොළේට සිදුවූ භ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඔහුගේ දේහය ඊයේ (15) බිරිය වෙත භාරදී ඇති බව දැනගන්නට තිබේ. අදාල දේහයේ බාහිර තැළීම් තුවාල සිදු වූ බවට ද තොරතුරු වාර්තා වී තිබූ අතර බන්ධනාගාර රෝහලේ දී බාහිර තුවාල තිබූ බව වෛද්‍යවරයා විසින් පොලිසියට ප්‍රකාශ කොට නැති බවද දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව සහකාර බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
මේ අතර ඊයේ දිනයේ (15) දුම්බර බන්ධනාගාරයේ දී තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ. ඔහුගේ දේහය පිළිබඳ මහනුවර ජාතික රෝහලේ දී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සනාථ වී ඇත්තේ ඔහු මිය ගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් බව ය.
මේ වනවිට බන්ධනාගාරය තුළ නැවත වරක් කොවිඩ් වෛරසය වේගයනේ පැතිරී යන බවත්, දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් දෙදහස සහ බෝගම්බර බන්ධනාගාරයේ සිටින රැඳවියන් 600 ඇතුළත් රැඳවියන් 2600ක් සඳහා ප්‍රතිකාර කිරීමට සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බවත්, ඔහුගේ සහය කණ්ඩායමට සහතික ලත් වෛද්‍යවරු 04ක්, හෙද කාර්ය මණ්ඩලය 06ක් පමණක් ඇතුළත් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.







