සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්, කැලණිය සංවිධායක ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නෙරපීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය ලබා දුන් වාරණ නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සමක් අද (03) සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීරණය කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ඩී.එම්. සමරකෝන් හමුවේ මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදී.
එහිදී පෙත්සම්කාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වෙනත් නඩු කටයුත්තකට සහභාගි වී සිටින බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥ සඳුන් ගමගේ ඉල්ලා සිටියේය.
එහිදී වගඋත්තරකාර සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සහීඩා භාරී සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වන අයිතියක් තබා ගන්නා බවය.
හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය විසින් සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබුණි.
එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම සිදු කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා කොළඹ දිසාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන වාරණ නියෝගයක් නිකුත් කළේය.
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්, කැලණිය සංවිධායක ධුරය සහ ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නෙරපීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම වාරණ නියෝගය නිකුත් කරන ලදි.
අනතුරුව එම වාරණ නියෝගය විසුරුවා හරින ලෙස වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින් දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලද අතර එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ඊට එරෙහිව මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත. දිනමිණ







