ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවර්ධන නිලධාරින් ගේ උද්ඝෝෂණය මර්ධනය කිරීමට රජය විසින් කිසිම මෙහෙයවීමක් සිදු නොකළ බවත්, සිදුවූයේ ඒ අවස්ථාව තුළ නිර්මාණය වූ තත්ත්වය මත පොලිසිය ගත් ක්‍රියාමාර්ගයක් බවත් අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය අද විපක්ෂයෙන් එල්ලවුන බරපතල විවේචනවලට පිළිතුරක් දෙමින් ස්වකීය පැහැදිලි කිරීම කළාය.
වීදි සටන් කරමින් ජනතාව ආවේගශීලී කරමින් පාර්ලිමේන්තුවට පැමිණි කම්කරු නායකයන් විශාල ප්‍රමාණයක් සහිත ආණ්ඩුව ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුන තරුණ සංවර්ධන නිලධාරීන් පිරිස මර්ධනය කිරීමට ක්‍රියාකළ ආකාරය දැඩි අපේක්ෂා භංගත්වයක් ඇති කරන බව විපක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසුවේය. එමෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවස්ථා කීපයක දී මේ ගැන ප්‍රශ්න කළේය. විපක්ෂ නායකවරයා සිය කතාව ආරම්භ කළේ ද මේ සිද්ධිය මතුකරමිනි.
ඒ සියල්ලන්ටම පිළිතුරු දෙමින් අගමැතිවරිය පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවාය.
ඊයේ මේ සිද්ධිය සිද්ධ වෙනකොට කැබිනට් මණ්ඩලය රැස් වෙමින් මේ ගැන කැබිනට් එක කතා වෙමින් තිබ්බේ. මේ ප්‍රශ්නයට මගේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක අනුමත වුනා. ඒක සිද්ධවන අතරෙ තමයි ඔය උද්ඝෝෂණය සිද්ධ වුනේ.
ඒ වගේම ඊට මාසෙකට කලින් මම මේ සංවර්ධන නිලධාරීන් නියෝජනය කරන කණ්ඩායම් දෙකක් මුණගැහුනා දෙවතාවක්. ගිය සතියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් එක්ක රැස්වීමක් තිබිලා මේ පිළිබඳව අප කිව්වා ඔවුන්ට අසාධාරණයක් වෙලා තියනවා… නමුත් අපෙන් නෙමයි. පෙර ආණ්ඩුවලින්. නමුත් ඒක විසඳන්න මැදිහත් වෙනවා කියන සාකච්ඡාව ඔවුන් එක්ක ගත්තා.
ඒක පදනම් කරගෙන තමයි අපි ඊයේ කැබිනට් එකට යෝජනාවක් ඉදිරිපත් කළේ. කිසිසේත්ම ඔවුන්ගේ උද්ඝෝෂණයට විරුද්ධව අපි පොලිසියවත් මොකක්වත් යෙදෙව්වෙ නෑ. ඒ අවස්ථාවේ එතැන ඒ අවස්ථාවේ ඇතිවුන තත්ත්වයත් එක්ක පොලිසිය ගත්ත ක්‍රිියා මාර්ගයක් තිබ්බා. ඒක උද්ඝෝෂණය මර්ධනය කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් නෙමෙයි කියන එක මම අවධාරණය කරන්න ඕන.
ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය සහ සමස්ථ රාජ්‍ය සේවය තුළ විටින් විට සැලසුමක් නැතිව අරගත්ත සියලුම කණ්ඩායම්වලට විසඳුමක් සෙවීම සඳහා අප මැදිහත් වෙනවා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලබල විය යුතු නෑ අපට සැලසුමක් නෑ කියලා.. අපට සැලසුමක් තියනවා. ඒ සැලසුම අනුව අප ක්‍රියාත්මක වෙනවා. අපි මෙතන පත් වෙලා තියෙන්නේ මොකක් වෙනුවෙන් ද කියන අවබෝධය අපි සියලු දෙනාටම තියනවා. ඒ සියලු දේ තුළ තමයි අපි වැඩ කරන්නේ කියන එක අපි අවධාරණය කරනවා.”
මේ සම්බන්ධව ඉන් පෙර අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්දවංශ ජයසිංහ ප්‍රකාශ කළේ ගුරුවරයෙක් බඳවා ගැනීම සඳහා පැහැදලි නිර්ණායක සහිත ගුරු සේවා ව්‍යවස්ථාවක් ඇති බවත් ඉන් පිටත කටයුතු කිරීමේ නෛතික අවස්ථාවක් නැති බවය.







