සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
එම අමාත්‍ය මණ්ඩල කමිටුවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාත්, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාත් නම් කර ඇත.
1994 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 07කදී විවිධ යෝජනා ක්‍රම මගින් රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරින් ඇතුළුව මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ උපාධිධාරින් 150,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටී.
සංවර්ධන නිලධාරින්ගේ හා ආශ්රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරින්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකර රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේදී පෙන්වාදී තිබේ.
ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසිපරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරින් වෙතින් අපේක්ෂිත කාර්යසාධනය ළඟා කරගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත.







